වසරක් ගතවුණා… සයිප්‍රස් අරමුදල් ප්‍රශ්නය විසඳන්න ජනපතිට තවම බැරිවුණා… “එතෙර අපි”

වසරක් ගතවුණා… සයිප්‍රස් අරමුදල් ප්‍රශ්නය විසඳන්න ජනපතිට තවම බැරිවුණා… “එතෙර අපි”

(දෙවන සංස්කරණය) සයිප්‍රස්හි සේවය කළ ශ්‍රී ලාංකිකයන්ට හිමිවියයුතු මුදල් ලබා ගැනීමට නොහැකිවීමෙන් ඇතිවී තිබෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමට පෙර සිටම දැනුවත් කර ඇතත් මේ දක්වා කිසිම පිළිතුරු ලබා දී නැතැයි එතෙර අපි සංවිධානය සඳහන් කරයි.

එතෙර අපි සංවිධානයේ ලේකම් ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා සහ එහි මුදල් ලේකම් නීතීඥ ජානක අධිකාරී මහතාගේ සහභාගිත්වයෙන් මේ වනවිටත් පැලවත්ත බත්තරමුල්ල පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අවධාරණය කළේ ය.

රැකියා ගිවිසුම් අහිමිවී නිසා ලංකාවට පැමිණිමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් අනෙකුත් රටවල ශ්‍රමිකයන් ඉදිරියේ ලැජ්ජාවට පත්ව සිටින බව එතෙර අපි සංවිධානයේ මුදල් ලේකම් නීතීඥ ජානක අධිකාරී මහතා අවදාරණය කරයි. එමෙන්ම එම ශ්‍රි ලාංකික ශ්‍රමියකන්ට ගිවිසිම් කාලය ඉක්මවා ඇති නිසා ඉන් පසු රැඳී සිටින කාලය සඳහා දඩ ගෙවීමටද සිදුව ඇති බවත් ඔවුන් ශ්‍රමිකයෙකුට හිමි සියලුම වරප්‍රසාද අහිමිව ජීවත්වන පිරිසක් බවට පත්ව ඇති බවත් මෙහිදී ජානක අධිකාරී මහතා අවධාරණය කළේය.

මේ ආණ්ඩුව මේ වනවිට විදේශගත ශ්‍රී ලාංකිකයන් පාවිච්චි කරමින් ඉන්නේ ආණ්ඩුවේ හිතවාදී ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික අරමුණු ඉටුකරගැනීමේ ජාවාරමක් සඳහා යැයිද මෙහිදී  නීතීඥ ජානික අධිකාරී මහතා තවදුරටත් අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා…

“විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට තිබෙන විශාල ගැටලු ප්‍රමාණයක් අතරින් සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල ලබාගැනීමට ඇති වී තිබෙන බාධාව ප්‍රධාන එකක් ලෙස තිබෙනවා. සමජ ආරක්ෂණ අරමුදල කියන්නේ සයිප්‍රස්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට රැකියාවෙන් පසු ලැබිය යුතු අරමුදලක්. සයිප්‍රස්හි සේවය කරන ලංකාවේ සේවකයින්ගේ වැටුපෙන් 7.5%ක් සහ හාම්පුතාගෙන් 7.5%ක මුදලක් මෙම අරමුදලට බැරවෙනවා. එනම් 15%ක මුදලක් මාසිකව එකතුවෙනවා. නමුත් සයිප්‍රස් සේවය කළ කිසිවෙකුට මෙම මුදල් තවම ලැබී නැහැ. එය වෙන කාටවත් ගන්නත් බැහැ. මුදල ලැබෙන්නේ නැත්තේ ඇයි? පසුගිය ආණ්ඩුවලට මේ ගැටලුව අපි කියා තිබෙනවා. නමුත් අවශ්‍ය රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග නැහැ.

මෙයට හේතුව අපේ රටේ ආණ්ඩු, ඇමතිවරු වගකිවයුත්තෝ රාජ්‍යතාන්ත්‍රිකව මේ සමබන්ධයෙන් අවශ්‍ය ගනුදෙනු කරන්නේ නැහැ. මෙය විශාල මුදලක්. මෙම මුදල රටට එනවා කියන්නේ ඒක රටේ ආර්ථික අර්බුදයටත් යම් කිසි විසඳුමක් වෙනවා. පුද්ගලිකව සේවකයාට මුදල ලැබෙනවා කියන්නේ එය රටට ලැබෙන මුදලක්. එය ලබාගන්න රාජතාන්ත්‍රික ගනුදෙනුවක් කළ යුතුව තිබෙනවා. අපි මේ ගැන හැමදාම කතා කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න කලින් සිට මේ ගැන අපි කියලා තිබෙනවා. විදේශ සේවා භාරව සිටි හැම ඇමතිවරයෙකුටම මේ ගැටලුව ගැන කියලා තිබෙනවා. මේක ඉතා විශාල මුදලක්. සමහර අයෙකුට ලක්ෂ 30ක් වැනි මුදලක් ලැබිය යුතුව තිබෙනවා. මෙම මුදල් ලැබිය යුතු පුද්ගලයන් ලක්ෂ එකහමාරක් පමණ සිටිනවා.

එතෙර අපි සංවිධානය ලෙස අපිත් මේ ගැන මැදිහත් වෙන අතරේ සයිප්‍රස් සේවක එකමුතුව කියලා සංවිධානයක් ගොඩනගා ගත්තා. ඒ සංවිධානයත් මේ ගැන වගකිව යුත්තන්ට දැනුම් දීලා තිබෙනවා. දුර පළාත්වල සිට ආපු 2000ක් වැනි පිරිසක් ද්ඝෝෂණ කළා. ජනාධිපති සමඟ සාකච්ඡාවක් ඉල්ලුවා. නමුත් ජනාධිපතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් තමයි සාකච්ඡාවට ආවේ. ඔවුන් පිළිගත්තා මෙය විසඳුමක් ලබාගත යුතු ප්‍රශ්නයක් කියලා. විදේශ කටයුතු ඇමතිවරයාගේ රාජතාන්ත්‍රික කටයුතු භාර ලේකම් හමුවෙලා තිබෙනවා. ආණ්ඩුව අපිට කියන්නේ ඔවුන්ට මේ ගැන තොරතුරු නැහැ කියලා. ඒක ඉතාම කණගාටුදායක තත්වයක්. මේ ගැන තොරතුරු තිබෙන්න ඕන අදාල අමාත්‍යංශය සතුව. නමුත් ඔවුන් අපිට කියනවා තොරතුරු නැහැ කියලා. අපිට කිව්වා තොරතුරු දෙන්න කියලා. රට වටේ ගිහින් තොරතුරු එකතු කරලා අපි තොරතුරු ගත්තා. දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාට මේ ගැන තොරතුරු දෙන්න අවස්ථාවක් ඉල්ලුවා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ මේ ගැන ඇතිවෙන්න කතා කරලා තිබෙනවා. නමුත් විසදුමක් නැහැ.

කණගාටුවට කරුණ වෙලා තිබෙන්නේ මේ ගැන අපි යවන ලිපි කම්කරු ඇමතිගේ, විදේශ රැකියා ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම්වරුන්ට තමයි යොමු කරන්නේ. මේ තරම් වැදගත් ප්‍රශ්නයක් අඩුම තරමේ ඇමතිවරයාට යොමු කරන්නේ නැහැ. ඒකෙන් පේනවා මේ ගැටලුව පිළිබඳ අවදානයේ තරම. අඩුම තරමේ ආණ්ඩුව තවම අදාල වගකිව යුතු ඇමතිවරයා තෝරාගෙන නැහැ. කොරෝනා පිට දාලා හැම දෙයක්ම පස්සට දානවා. මේ වෙලාවේ මේ ඇමතිවරු මොනවද කරන වැඩ. වැදගත් වැඩක් කරනවා කියලා මේ රටේ ජනතාවට පේනවද? සංවර්ධන ව්‍යාපෘති කරනවද? ජනාධිපති පත්වෙලා අවුරුද්දක් වෙනවා. ආණ්ඩුව පත්වෙලා සෑහෙන කාලයක් වෙනවා. අදාල ඇමතිට යවලා මේ ගැටලුවට පිළිතුරක් ගන්න බැරි තරම් මේ ඇමතිවරුන්ට තිබෙන වැඩ මොනවද? රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ. ඉතාම කණගාටුදායක තත්වයක්.

මේ අරමුදල ලැබිය යුතු විශාල පිරිසක් අසරණ තත්වයට පත්වෙලා. ඇතැම් අය සේවය හමාර වෙලා ලංකාවට ඇවිත් වසර ගණනාවක් වෙනවා. බොහෝ අය මහලු තත්වයට පත්වෙලා. තවත් සමහරු මරණයට පත්වෙලා. තමන්ට ලැබිය යුතු මුදල නොලැබී මැරිලා ගිහිල්ලා. ඒ නිසා අපිට අහන්න තිබෙන්නේ මේ ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි ඇයි කියලා. මේ සම්බන්ධයෙන් විෂයභාර ඇමති කවුද කියලා ආණ්ඩුව දන්නේ නැහැ. අපි දන්නෙත් නැහැ. අඩුම තරමේ අපි අදාල බලධාරීන්ගෙන් ඉල්ලුවා මේකට වගකියන ඇමතිවරයා කියන්න කියලා. තවම ඒකට උත්තරයක් නැහැ.

මේ අරමුදල පිලිපීනය විසින් ලබාගත්තා. සයිප්‍රස් රජය සමඟ අදාල රාජතාන්ත්‍රික ගනුදෙනුව කරලා තමන්ගේ රටේ සේවකයින්ට එම මුදල ලබාගන්න පිලිපීනය කටයුතු කළා. නමුත් අපේ රටේ පාලකයින් ඒ ගනුදෙනුව කරන්නේ නැහැ. රාජතාන්ත්‍රික ගනුදෙනුව කරන්න ඕනෑ රටේ ජනාධිපති, අදාල ඇමතිවරු. මේ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයත් මේ ප්‍රශ්නය දන්නවා. ඔහු කම්කරු ඇමති කාලේ සිට තිබෙන ප්‍රශ්නයක්. මේක දැන් වසර ගණන් ඇදී යන ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා අපි ජනාධිපතිට, අදාල ඇමතිවරුන්ට බලකරනවා මේ ගැටලුව විසඳගන්න අදාල ක්‍රියාමාර්ග ගන්න සාකච්ඡාවක් දෙන්න කියලා. මේ ආණ්ඩුව කොරෝනා පිට දාලා හොරට නිදාගෙන ඉන්නේ.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්