දූෂණයට ගොදුරු වූ දැරියක්, තමා දූෂණය කළ පුද්ගලයා සරණ පාවා ගැනීමට අධිකරණය ඉදිරියේ කැමත්ත ප්‍රකාශ කරන්නේ නම්, ඊට ඉඩකඩ සැලසෙන අයුරින් පවතින නීති වෙනස් කිරීම සඳහා පියවර ගන්නා බවට ළමා සංවර්ධනසහ කාන්තා කටයුතු අමාත්‍යංශය කරන ප්රකාශනය සමාජ ක්‍රියාධාරයන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙමින් තිබේ.
වයස අවුරුදු දහසයට අඩු දැරිවියකගේ කැමැත්ත ඇතිව හෝ නොමැතිව ලිංගිකව හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් පැමිණවිය හැකි මට්ටමින් ශ්‍රී ලංකා නීතිය 1991 දී සංශෝධනය කළ බව ආචාර්ය දීපිකා උඩගම බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී පෙන්වා දී තිබේ.
‘අලුත් නීතිය‘ වෛද්‍ය විද්‍යාත්මක පදනම පවා සම්පූර්ණයෙන්ම නිශේධනය කිරීමක් වන අතර, අදාළ පුද්ගලයා දඬුවමෙන් මුක්ත වීමක්ද එමගින් සිදු කෙරෙන බවත් ඉහත කී ආකාරයේ නීති සංශෝධන මගින් නීතිය වසර ගණනාවක් ආ පස්සට යන බවත් එම මහත්මිය පෙන්වා දෙයි.
‘ප්‍රේම සම්බන්ධතා පවත්වන බාල වයස්කාර ගැහැණු සහ පිරිමි ළමුන් දැණුවත්ව හෝ නොදැනුවත්ව ලිංගික ඇසුරේ යෙදෙන බව’ ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු පිළිබඳ ඇමති තිස්ස කරල්ලියද්ද පවසන අතර “සැබවින්ම ඒ අය සම්බන්ධකම් පවත්වා තිබුණේ විවාහ වීමේ බලාපොරොත්තුවෙන් නම් ඔවුන් නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු ඔවුන්ගේ අනාගත ජීවිතයේ යහපතට පියවර ගනු ලැබීමක් ගැනයි මම අදහස් පළ කළේ” යයිද ඇමතිවරයා කියා සිටියි.
එනමුත් ඇමතිවරයා කියන ආකාරයේ ප්‍රේම සම්බන්ධතාවලින් තොරව සිදුවන ස්ත්‍රී දූෂණවලදීද මෙම නීතිය අදාල වීම වැළැක්විය නොහැකිය.
කෙසේ වෙතත්, කරල්ලියද්ද ඇමතිවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට අචාර්ය දීපිකා උඩුගම ඇතුළු සමාජ ක්‍රියාධරයන් එකසිය දාහත් දෙනෙක් ලිඛිතව බල කර සිටිති.









