ජාතික ප්‍රශ්නයට ආණ්ඩුවේ විසඳුම වහා රටට හෙළි කළ යුතුයි – ජවිපෙ

ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් සතුව ස්ථිරසාර විසදුමක් ඇත්නම් එය රට හමුවේ තබන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට යෝජනා කර සිටී. මේ සම්බන්ධයෙන් එම පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සදහන් වේ.

ජනාධිපති මහින්ද රාජපක‍ෂ තමන් සමග බලය විමධ්‍යගත කරලීමේ ක්‍රියාවලියක් පිළිබඳව කළ සාකච්ඡාවලදී 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යාමට එකඟතාවය පළ කළ බව දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක්‍රිෂ්ණා මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී 2012 ජනවාරී 17 දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව අද දින (18) මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබ ඇත. මෙම මාධ්‍ය සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ ඇමති ජී.එල්. පීරිස් මහතාද සහභාගි වී තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ඉදිරිපත් කරන විසඳුම පිළිබඳ ශ්‍රී ලංකාවේ ජනතාව දැනුවත් විය යුත්තේ, ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මගින් නොවන බව අපි අවධාරණය කරමු.

ජනාධිපතිවරයා හා ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට මෙතෙක් රට ඉදිරියේ නිශ්චිත විසඳුමක් ඉදිරිපත් කර නැත. එසේ තිබියෙදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉහත සඳහන් ප්‍රකාශය කරද්දී ශී්‍ර ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා නිෂ්ශබ්දව සිටීම ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් වූ ජාතික ප්‍රශ්නය අරභයා ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඇති විසඳුම කුමක්ද යන්න ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා එකී මාධ්‍ය සාකච්ඡාවේදී පැහැදිලි කළ යුතුව තිබුණි. එසේ නොකිරීම මගින් එම අමාත්‍යවරයා තම වගකීම පැහැර හැර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය අරභයා වූ විසඳුම ලෙස ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් විවිධ අවස්ථාවන්වලදී විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව වගකීමෙන් තොරව ප්‍රකාශ කර තිබේ. මෙම ප්‍රශ්නයට තමන් සතුව ස්ථීරසාර විසඳුමක් තිබේනම් එය වහාම ලාංකේය ජනතාව ඉදිිරියේ තබන ලෙස අපි ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට බලකර සිටිමු.

දේශපාලන මණ්ඩලය – ජනතා විමුක්ති පෙරමුණ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්