තබ්බෝව අභය භූමියට අයත් නවගත්තේගම රළපනාව වැවේ ජලය සිඳීයාමත් සමඟ, මාසයක පමණ කාලයක පටන් වැලි ජාවාරම්කරුවන් වැලි කැණීම හේතුවෙන් දැවැන්ත පරිසර විනාශයක් සිදුව ඇති බව ජනතාව කියති.
වර්ෂා සමය ඉදිරියේ දී පැමිණෙමින් පවතින බැවින්, ඒ කාලයට වැව පිරීගිය විට, වැව භාවිත කරන ජනතාවට මේ හේතුවෙන් දැඩි අවදානම් සහිත තත්වයකට මුහුණදීමට සිදුවන බවද ඔවුහු කියාසිටිති.
රළපනාව වැව නවගත්තේගම හා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම අයත් වන අතර, කරුවලගස්වැව හා නවගත්තේගම පොලිස්ථාන දෙකට ම අයත් වේ. අක්කර 100ක පමණ ජල ධාරිතාවයකින් සහිත මෙම වැව යටතේ කුඹුරු අක්කර 70කට ආසන්න ප්‍රමාණයක් පෝෂණය ලබයි.
මෙම වැලි ජාවාරම පිටුපස ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සිටින බවත්, ඔවුන් 20ක පමණ පිරිසක් ගම්වැසියන් බියවද්දවමින් බලහත්කාරයෙන් රාත්‍රිය පුරා වැව්පිටියේ මතුපිට පස් අඩි කිහිපයක් ඉවත්කරමින් සිටින බවත්, අලුයම් කාලයේ ටිපර් හා ට්‍රැක්ටර් යොදා ගනිමින් වැලි අදින බවත් ජනතාව පවසති. එම ව්‍යාපාරිකයින් පිරිස භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය හා අනිකුත් ආයතන මගින් වැලි ප්‍රවාහනයට ලබා ගෙන ඇති අවසරය ප්‍රයෝජනයට ගනිමින් මෙම කටයුත්ත ක්‍රියාත්මක කර ඇති බවට ජනතාව චෝදනා එල්ල කරති.
මේ පිළිබඳව කළ විමසීමේ දී අදහස් දැක්වු රළපනාව වැව අයත් රාහුල ගොවි සංවිධානයේ සභාපති එච්.ඒ.සෙල්ල වන්නිහාමි මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“මේ පිළිබඳව අපි පොලිසියට හා අදාල බලධාරින්ට දන්වා තිබෙනවා. පොලිසිය අවස්ථා කිහිපයකදි කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත්තා. නමුත් මෙය නවත්වන්න අමාරුයි. අපිට මෙය කරන්න බැහැ” යැයි ඔහු පැවසී ය.
නම සඳහන් කිරීමට අකමැති රාජ්‍ය නිලධාරියකු පවසා සිටියේ මේ වනවිට නවගත්තේගම ප්‍රදේශ ගණනාවක දරුණු ලෙස වැලි කැණීම් සිදුවන බවය. මහා පරිමාණයෙන් පරිසරය වනසමින් කෙරෙන වැලි ජාවාරමට නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද බවද ඔහු පැවසී ය.
වැලි ලබාගැනීමට හාරා ඇති විශාල වලවල්වලින් පරිසරයට හානි වෙමින් වැව විනාශ කෙරෙමින් පැවති ආකාරය නවගත්තේගම රළපනාව වැව්පිටිය නිරීක්ෂණයේ දී පැහැදිලි වේ.










