20න් හෙට රටට වන දේ අද කැබිනට් මණ්ඩලයට අත්වී ඇති ඉරණමෙන් පැහැදිලියි..

20න් හෙට රටට වන දේ අද කැබිනට් මණ්ඩලයට අත්වී ඇති ඉරණමෙන් පැහැදිලියි..

“සැප්තැම්බර් මස 02වැනිදා කැබිනට් මණ්ඩය විසින් 20වැනි සංශෝධනය අනුමත කරන ලද බව ප්‍රකාශයට පත් කළා. එහෙත් ඔවුන් කිසිවෙක් මෙය අධ්‍යයනය කර ඇති බව පෙනුණේ නැහැ. අගමැතිවරයා විසින් 20වැනි සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කරන්නේ මෙම තත්වය තුළයි. මෙම නම දෙනෙකුගෙන් යුත් කමිටුව තුළ කැබිනට් අමාත්‍යවරුන්ම පස් දෙනෙක් සිටිනවා. ඒ අනුව පෙනෙන්නේ එදා කැබිනට් මණ්ඩලය කිසිදු අධ්‍යයනයකින් තොරවම ඔවුන් එයට අත ඔසවා ඇති බවයි. මෙම 20වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලය අසීමාන්තිකව වැඩි වන බව මෙයින්ම පැහැදිලියි. කමිටු වාර්තාව ලැබීමෙන් පසුවද කිසිවෙක් ජනාධිපතිවරයාට එම නව සංශෝධන පිළිබඳව කථා කිරීමට ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩලයේදී ඉදිරිපත් වී නැහැ. බළලාගේ ගෙජ්ජිය බැඳීමට කිසිදු මීයෙක් ඉදිරිපත් නොවූවා සේ ඇමති මණ්ඩලය අද අසරණ වී තිබෙනවා. හෙට රටට ඇතිවන තත්වය අද කැබිනට් මණ්ඩලය පත් වී ඇති ඉරණමින් පැහැදිලියි. ආණ්ඩු පක්‍ෂයේ අය අද රූකඩ වෙලා ඉවරයි. අද ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරගෙන යනවා. ඊළඟට විපක්‍ෂයත් ඊළඟට ජනතාවත් ඩොසර් කරගෙන යා හැකියි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී අද (17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා….

“1978දී ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනු ලැබුවේ හුදු ව්‍යවස්ථාමය අරමුණුවලට ඔබ්බට යමින් කොල්ලකාරී ආර්ථික ගමනක් යාමට අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කරගැනීමේ වුවමනාව ඇතුවයි. ඒ වෙනුවෙන් ඒකාධිපති ස්වරූපයේ ජනාධිපති ධුරයක් ඔහු විසින් නිර්මාණය කරනු ලැබුවා.

විවිධ අවස්ථාවල විවිධ බල වුවමනාකම් වෙනුවෙන් මෙම ව්‍යවස්ථාවට සංශෝධන එකතු වුණා. ඒකාධිපති ස්වරූපයේ ජනාධිපති ධුරයේ බලතල සීමා කිරීම වෙනුවෙන් එදා අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ කාලයේ පරිවාස වැඩපිළිවෙළ තුළ 17වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළා. එමගින් විධායක බලතල යම් ප්‍රමාණයක් කප්පාදු කරනු ලැබුවා. අපේ රටේ පළමු වතාවට ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරමින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත වුණේ මේ සමගයි. මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා, අධිකරණ සේවා ආදී ස්වාධීන කොමිෂන් සභා මේ අනුව පිහිටවනු ලැබුවා.

නමුත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව 17 අහෝසි කර නැවතත් ඒකාධිපති ජනාධිපති ක්‍රමය ශක්තිමත් කළා. නැවතත් 19වැනි සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වුණා. 19 තුළ අඩුපාඩුකම් තිබුණත් එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ දිශාවට සිදුවූවා. දැන් නැවතත් ආණ්ඩුවේ 20වැනි සංශෝධනය මගින් ජේ.ආර්.ගේ වුවමනාව හා සමානව කොල්ලකාරී ආර්ථික වැඩපිළිවෙළක් වෙනුවෙන් විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කර ගැනීමට හදනවා. රටේ සමස්ත ණය බර කෝටි ලක්‍ෂ 14යි. ඒ කියන්නේ ට්‍රිලියන 14යි. වසරකට කෝටි ලක්‍ෂ දෙකක් ණය හා පොලී වාරික ගෙවීමට සිදුවී තිබෙනවා. රජයේ ආදායමට වඩා ණය හා පොලී ගෙවීමට සිදුව තිබෙනවා. මේ තත්වය තුළ වත්මන් ජනාධිපතිවරයාට එදා ජේ.ආර්.ටත් එහා යන, ප්‍රජාතන්ත්‍රවාදය හකුළන ඒකාධිපති ජනාධිපති ධුරයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය වී තිබෙනවා. ඒ, කොල්ලකාරී ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම වෙනුවෙනුයි.

20වැනි සංශෝධනය තුළ ඇති යෝජනා අතිශය ගැටලුකාරීයි. ඒවායින් කිහිපයක් අපට මෙසේ හඳුනාගත හැකියි. වර්තමාන සමාජය තුළ නීතිය කාටත් සමාන බව මූලික සංකල්පයක් ලෙස පිළිගන්නවා. ඒ අනුව ජනාධිපතිවරයාට නීතිය හමුවේ මුක්තිය ලැබීම ගැටලුවක්. 19වැනි සංශෝධනය යටතේ මූලික අයිතිවාසිකම් කඩවීමකදී ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරිය හැකි පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කර තිබුණා. ඔහුට මුක්තිය ලැබුණේ සිවිල් සහ අපරාධ චෝදනාවලදී පමණයි. ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය වැනි විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන් රටවල්වලදී පවා ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය හැකියි. ඔහු නීතියට යටත් කොට තිබෙනවා. නමුත් 20වැනි සංශෝධනයේ නැවත වරක් ජනාධිපතිවරයා නීතියට ඉහළින් තබා තිබෙනවා. මේ අනුව ඔහු විසින් සිදුකරන කිසිදු වරදක් නීතිය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි වෙනවා. මේ උත්සාහය කොල්ලකාරී ආර්ථික ගමනේදී සිදුවිය හැකි ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට අදාළ නඩුවලින් ගැලවීමටයි.

19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අගවිනිසුරු, නීතිපති, විගණකාධිපති ඇතුළු රටේ ප්‍රධාන තනතුරු පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පවරා තිබුණා. නමුත් දැන් 20වැනි සංශෝධනය මගින් යෝජනා කර ඇති පාර්ලිමේන්තු සභාවේ සිටින්නේ අගමැතිවරයා, කථානායකවරයා, අගමැතිවරයාගේ නියෝජිත මන්ත්‍රීවරයා, විපක්‍ෂ නායකවරයා සහ විපක්‍ෂ නායකවරයාගේ නියෝජිත මන්ත්‍රීවරයායි. මෙම පස් දෙනාගෙන් තිදෙනෙක්ම ආණ්ඩුව නියෝජනය කරනවා. ඒ වගේම මෙම පාර්ලිමේන්තු සභාව කිසිදු බලයක් නැති එකක්. ඔවුන්ට කළ හැක්කේ ජනාධිපතිවරයා විසින් යෝජනා කරන නම්වලට අදාළව නිරීක්‍ෂණ ලබාදීමට පමණයි. එම නිරීක්‍ෂණ පවා ජනාධිපතිවරයාට නොසලකා හැරිය හැකියි.

20වැනි සංශෝධනය අනුව කොමිෂන් සභා ඉතිරි වුවද ඒවා තවදුරටත් ස්වාධීන කොමිෂන් සභා වන්නේ නැහැ. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව නිසා ලංකාවේ මැතිවරණවල සාම්ප්‍රදායිකව පැවති ප්‍රචණ්ඩ ක්‍රියා, රාජ්‍ය දේපළ අවභාවිතාව වැනි දේ විශාල ලෙස අවම වුණා. එහෙත් තවදුරටත් එසේ වීමේ ඉඩක් නැහැ. ඒ වගේම ස්වාධීන විගණන කොමිෂන් සභාව සම්පූර්ණයෙන් අහෝසි කර තිබෙනවා. ඒ වගේම විගණකාධිපතිවරයා පත්කිරීම ජනාධිපතිවරයා යටතට පත්කරගැනීමට අමතරව ඔහුගේ විෂය පථය පවා සීමාකර තිබෙනවා. ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය රටේ ජනතාවගේ මුදල් විශාල ලෙස වියදම් කරන ආයතනයි. මේවා වියදම් කරන්නේ මහජනතාවගේ මුදලුයි. නමුත් 20වැනි සංශෝධනය මගින් එම ආයතන විගණනය කිරීම විගණකාධිපතිවරයාගෙන් ඉවත්කර තිබෙනවා.

20වැනි සංශෝධනය තුළ ආණ්ඩුව හදිසි පනත් ගෙන ඒමේ හැකියාව ලබාගෙන තිබෙනවා. ඒ අනුව බරපතල වැරදි තත්වයක් රට තුළ උද්ගත වෙනවා. ජනතාවට හොර රහසේ පනත් ගෙන ඒම මගින් ඒවා අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමේ අවස්ථාව ජනතාවට අහිමි වෙනවා. 19වැනි සංශෝධනය මගින් මෙවැනි පනත් ගෙනඒම නතර කළා. 20වැනි සංශෝධනය මගින් ආණ්ඩුව මෙම අවස්ථාව නැවත ලබාගෙන තිබෙනවා. පනතක් ගැසට් කර ලබාදිය යුතු දින 14ක කාලය දින 7ක් දක්වා අඩුකර තිබෙනවා.

20වැනි සංශෝධනය අනුව ඇමතිවරුන් පත් කිරීමේ ජනාධිපතිවරයාගේ සීමාව ඉවත් කර තිබෙනවා. ජනාධිපතිවරයාට කිසිදු සීමාවකින් තොරව ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් පත්කළ හැකියි. ඇමරිකා එක්සත් ජනපදය, චීනය වැනි රටවල පවා ඇමති මණ්ඩලය 20-30ක් පමණ සීමාවේ තිබියදී අප වැනි රටක සියය ඉක්මවූ ඇමති මණ්ඩලයක් අපි පසුගිය කාලයේ දැක්කා. මෙය ජනතාවට විශාල බරක් ඇති කළා. ඇමතිවරුන් පත් කිරීම සීමා කළ යුතු බවට රටේ විශාල මතයක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපේත් මැදිහත්වීම ඇතිව 19වැනි සශෝධනයෙන් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 30ක සීමාවට ගෙනාවා. නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යධූර ප්‍රමාණය 40ට සීමා වුණා. එහෙත් 20වැනි සංශෝධනය මගින් එම අමාත්‍යවරුන්ගේ සීමාව ඉවත් කිරීම අතිශය ගැටලුසහගතයි.

ඒ වගේම 20වැනි සංශෝධනය මගින් ද්විත්ව පුරවැභාවය සහිත පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත්වීම රටේ ස්වෛරීත්වයට බරපතළ තර්ජනයක්. නිදසුනක් ලෙස එක්සත් ජනපදය වැනි තැනක පුරවැසිභාවය දරන පුද්ගලයෙක් එම පුරවැසිභාය ලබාගැනීමේදී එක්සත් ජනපදය වෙනුවෙන් අවි දැරීමට පවා ප්‍රතිඥා දෙනවා. දැන් 20වැනි සංශෝධනය මගින් පාර්ලිමේන්තුවට පත්වීමේ අවස්ථාව ලබාගැනීමට උත්සාහ කරන්නේ මෙවැනි ද්විත්ව පුරවැසියන්ටයි.

වසරක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය නැවත ජනාධිපතිවරයාට ලබාගෙන තිබෙනවා. මේ අනුව අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් රූකඩයක් බවට පත්කර ගැනීමට ජනාධිපතිවරයාට හැකියි. තමන්ට බාධාකාරී වන ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තර්ජනය කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා. දැන් ආණ්ඩුවට 2/3ක බලයක් තිබෙන නිසා අවශ්‍ය ඕනෑම මොහොතක පනතක් සම්මත කර තමන්ටම පාර්ලිමේන්තුව විසුරුවා ගත හැකියි. නමුත් මේ විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා අතට පත්කිරීම අතිශය භයානක තත්වයක්. මේ ආදී වශයෙන් තවත් කරුණු ගණනාවක් 20 සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකියි.

සැප්තැම්බර් මස 02වැනිදා කැබිනට් මණ්ඩය විසින් 20වැනි සංශෝධනය අනුමත කරන ලද බව ප්‍රකාශයට පත් කළා. එහෙත් ඔවුන් කිසිවෙක් මෙය අධ්‍යයනය කර ඇති බව පෙනුණේ නැහැ. අගමැතිවරයා විසින් 20වැනි සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කරන්නේ මෙම තත්වය තුළයි. මෙම නම දෙනෙකුගෙන් යුත් කමිටුව තුළ කැබිනට් අමාත්‍යවරුන්ම පස් දෙනෙක් සිටිනවා. ඒ අනුව පෙනෙන්නේ එදා කැබිනට් මණ්ඩලය කිසිදු අධ්‍යයනයකින් තොරවම ඔවුන් එයට අත ඔසවා ඇති බවයි. මෙම 20වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලය අසීමාන්තිකව වැඩි වන බව මෙයින්ම පැහැදිලියි. කමිටු වාර්තාව ලැබීමෙන් පසුවද කිසිවෙක් ජනාධිපතිවරයාට එම නව සංශෝධන පිළිබඳව කථා කිරීමට ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩලයේදී ඉදිරිපත් වී නැහැ. බළලාගේ ගෙජ්ජිය බැඳීමට කිසිදු මීයෙක් ඉදිරිපත් නොවූවා සේ ඇමති මණ්ඩලය අද අසරණ වී තිබෙනවා. හෙට රටට ඇතිවන තත්වය අද කැබිනට් මණ්ඩලය පත් වී ඇති ඉරණමින් පැහැදිලියි. ආණ්ඩු පක්‍ෂයේ අය අද රූකඩ වෙලා ඉවරයි. අද ආණ්ඩු පක්‍ෂය ඩෝසර් කරගෙන යනවා. ඊළඟට විපක්‍ෂයත් ඊළඟට ජනතාවත් ඩොසර් කරගෙන යා හැකියි.

වැඩි කාලයක් යන්නට පෙර මේ 20න් ලැබෙන ඒකාධිපති බලය රටටත් ජනතාවටත් අතිශය විනාශකාරී වනු ඇති බව සියලු දෙනාට පැහැදිලිව පෙනේවි. මෙම සංශෝධනය රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළන, රට ආපස්සට ගෙනයන සංශෝධනයක්. ඒකාධිපති විධායක බලය පාවිච්චි කර පළමුව පහර දී තිබෙන්නේ ආණ්ඩු පක්‍ෂයටමයි. කමිටු අවස්ථාවේදී මෙය සංශෝධනය කරගත හැකි බව සමහරු කියනවා. එහෙත් ඒ සංශෝධන මොනවාදැයි කිසිවෙක් දක්නේ නැහැ. අමාත්‍යවරුන්, ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පවා දන්නේ නැහැ. තමන්ගේ හෘද සාක්‍ෂිය අවදි කර මෙම 20වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන ලෙස අපි ආණ්ඩු පක්‍ෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමන්ට හැකි සෑම ක්‍ෂේත්‍රයකදීම මෙම ඒකාධිපති 20වැනි සංශෝධනයට එරෙහි වන ලෙසත් එය පරාජය කිරීමට පෙළගැසෙන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

“20 සංශෝධනය පරාජය කිරීම වෙනුවෙන් අපි මූලික වශයෙන් ජනතාව දැනුවත් කිරීම සිදුකරනවා. ඒ සඳහා සම්මන්ත්‍රණ මාලාවක් සූදානම් කරලා තිබෙනවා. පළමුවැනි සම්මන්ත්‍රණය ‘20 කාගෙද? කාටද?’ යන තේමාව යටතේ 24වෙනිදා කොළඹ මහජන පුස්තකාලයේදී පවත්වනවා. ඊට අමතරව මාතර, මහනුවර, ගාල්ල, අනුරාධපුර ආදී දිස්ත්‍රික්ක මට්ටමින් ජනතාව දැනුවත් කරන සම්මන්ත්‍රණ පවත්වනවා. පාර්ලිමේන්තුවේදී මීට එරෙහිව ඡන්දය පාවිච්චි කරනවා. එමෙන්ම 20 පරාජය කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා.

ව්‍යවස්ථා සංශෝධනයකින් පමණක්ම ජනතාවගේ එදිනෙදා අධ්‍යාපන, ආර්ථික, සෞඛ්‍ය ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ. බඩගින්නට උත්තර ව්‍යවස්ථා සංශෝධනවලින් ලැබෙන්නේ නැහැ. මේ සංශෝධන ගෙනෙන්නේ බලය වෙනුවෙන්. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න කළ යුතු වෙනත් දේවල් තිබෙනවා. 18, 19 හෝ 20 සංශෝධනවලින් ඇත්ත ජනතා ප්‍රශ්න විසඳන්න බැහැ. 19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල අඩුකළා. ඒක හොඳ දෙයක්. 20න් නැවත ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලබාදෙනවා. ඒක වැරදියි. එය ඒකාධිපතිත්වයට පාර කැපීමක්. අපි යෝජනා කරන්නේ අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලා. පසුගිය ආණ්ඩුව සමයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුමක් හට ගත්තා කියලා මතයක් තිබෙනවා. ඒක 19 සංශෝධනයේ වරදක් නෙවෙයි. ඒක මෛත්‍රීගේ සහ රනිල්ගේ ප්‍රශ්නයක්.

19 සංශෝධනය නිසා ඇතිකළ පොලිස් කොමිසම නිසා පොලිස්පතිවරයා ඉවත් කිරීමට නොහැකි තත්වයක් උදා වෙලා කියලා වැරදි මතයක් හදනවා. ඒක අසත්‍ය ප්‍රචාරයක්. පොලිස්පතිවරයා ඉවත් කිරීම පිළිබඳ ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති 19 නිසා වෙනස් වුනේ නැහැ. 1978 ව්‍යවස්ථාවේ තිබෙන පොලිස්පතිවරයා ඉවත් කිරීම පිළිබඳ ප්‍රතිපාදන ඒ විදියටම තවමත් තිබෙනවා. නිවැරදි පරිපාටියට අනුව පොලිස්පතිවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුවත් අවශ්‍ය නම් පොලිස්පති ඉවත් කරන්න හැකියාව තිබුණා. දැන් තත්වය ගත්තොත් පූජිත ජයසුන්දර පසුගිය අප්‍රේල් මාසයේ විශ්‍රාම ගියා. ඒ අනුව නව පොලිස්පතිවරයෙක් පත් කරන්න ආණ්ඩුවට පුළුවන්. ඇයි පත් නොකර ඉන්නේ. ඇයි වැඩබලන පොලිස්පතිවරයෙක් තියාගෙන ඉන්නේ. 19යේ ප්‍රශ්නයක් නෙවෙයි. එය වෙනත් දේශපාලන ප්‍රශ්නයක්. ඒක ආණ්ඩුවේ වැරුද්දක් මිසක් ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නෙවෙයි.

පෙනෙන විදියට ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා තමයි මේ කමිටු පත්කරන්නේ. කැබිනට් මණ්ඩලයෙන් සම්මත කරපු 20 ගැන නැවත අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කරන්න වෙන්නෙම ඇතුලේ ප්‍රශ්නයක් තිබෙන නිසා. ඒක පැහැදිලියි. ප්‍රශ්නය වන්නේ ඇමතිවරු කැබිනට් එකේ අත් උස්සන්නේ 20 අධ්‍යයනය කර නොමැතිවයි. අධ්‍යයනය නොකර අත උස්සන්නේ ජනාධිපතිවරයාට තිබෙන බය පක්ෂපාතීත්වය නිසයි. ජනතාවගෙන් ආපු විරෝධය නිසා තමයි ආණ්ඩුව නැවත 20 අධ්‍යයනයට කමිටු පත්කරලා තිබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒක නෙවෙයි. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණ නම් කැබිනට් මණ්ඩලයට 20 දාපු දවසෙම ඇමතිවරුන්ට අත උස්සන්න කියන්නේ නැහැ. කැබිනට් පත්‍රිකාවක් සම්මත කරන සාමාන්‍ය ක්‍රමවේදය වෙන්නේ කැබිනට් පත්‍රිකාව දාලා ඊළඟ සතිය වෙනකල් ඇමතිවරුන්ට අධ්‍යයනය කරන්න කල් දෙන එක. 20 සංශෝධනය දාපු දවසෙම ඇමතිවරු ලවා සම්මත කරගත්තා. කොන්ද පණ තියෙන ඇමතිවරුන්ට කියන්න තිබුණා එදාම අනුමත කරන්න බැහැ කියලා. නමුත් එදා අත උස්සලා පස්සේ එලියේ වෙන වෙන කතා කියනවා. ඒක තමයි ලොකුම විහිළුව.

19වෙනි සංශෝධනය කියන්නේ ඇත්තටම අන්තර්කාලීන එකක්. 19 ඇතැම් වගන්ති තිබෙනවා එවකට සිටි ජනාධිපතිවරයාගේ ධුර කාලයට පමණක් වලංගු වෙන කරුණු. උදාහරණයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තම ධුර කාලය තුල ආරක්ෂක, පරිසර සහ මහවැලි ආදී ඇමති ධුර කිහිපයක් දැරීමට හැකියාව තිබුණා. නමුත් ව්‍යවස්ථාවක් කියන්නේ යම් දීර්ඝ කාලයකට අදාලවන ලෙස සකස් කළ නීති මාලාවක්. විගණන සේවා කොමිසම, ප්‍රසම්පාදන කොමිසම ආදියට අදාල බලතල සහ කර්තව්‍යයන් පිළිබඳ අවසන් තත්වයක් නිර්මාණය වුනේ නැහැ. එම නිසා 19 අන්තර්කාලීන සංශෝධනයක්. එය වෙනස් කොට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුව තිබෙනවා.
පළාත් සභා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයේ වෙනසක් නැහැ. අපේ රටේ ජාතික ප්‍රශ්නයට පළාත් සභා විසඳුමක් වුනේ නැහැ. පළාත් සභා යෝජනා කරන අවස්ථාවේදීත් අපි මේ බව පැහැදිලිව කිව්වා. අද ඒක ඔප්පු වෙලා. අටුවාටීකා ඕන නැහැ. ආණ්ඩුවේ විවිධ කතා තිබෙනවා. අපි දැන ගන්න කැමතියි ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා. ඒක රටට ජනතාවට කියන්න.

පාලකයින්ට කොල්ලකාරී ආර්ථික වුවමනාවන් ඉටු කරගන්න ඕනෑ වුනාම ඒ අයට පරිසරය, ජනජීවිතය අදාල නැහැ; වැදගත් නැහැ. ජයවර්ධන පාලනයෙත් එහෙම තමයි වුනේ. අද මේ ආණ්ඩුවත් පරිසරය විනාශ කරනවා. ඒ විතරක් නෙවෙයි පරිසර විනාශය සාදාරනීකරණය කරනවා. පරිසරවේදීන් කියන ඒවා ගණන්ගන්න ඕන නැහැ කියනවා. ඒ තැනට ආණ්ඩුව වැටිලා. සංවර්ධනය කියන්නේ භෞතික දෙයක් විතරක් නෙවෙයි. මානව සංවර්ධනය සහ පරිසරය සමඟ බැදුණු දෙයක්. එයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව තිරසාර සංවර්ධනය කියන්නේ. නමුත් එයට පිටුපාලා තමයි අද බොහෝ දේ සිදුවෙන්නේ. ආනවිලුන්දාවේ, රිදීමාලියැද්දේ ඇතුළුව රට පුරා සිදුවන පරිසර විනාශය පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ පිරිස්. ජනතාව මේවා දැක දැක මේවා අනුමත කරන්න එපා! විරුද්ධ වෙන්න කියලා අපි ඉල්ලනවා.”

Facebook
Twitter
LinkedIn