වීරතුංගට සහ පැල්පිට එරෙහි සිල්රෙදි නඩුවේ අභියාචනා පෙත්සම් සම්බන්ධ පිළිතුරු දේශන සඳහා දින දෙයි

වීරතුංගට සහ පැල්පිට එරෙහි සිල්රෙදි නඩුවේ අභියාචනා පෙත්සම් සම්බන්ධ පිළිතුරු දේශන සඳහා දින දෙයි

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තමාට එරෙහි පැනවූ බරපතල වැඩ සහිත සිර දඩුවමින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා සිල් රෙදි නඩුවේ වරදකරුවන් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් සම්බන්ධයෙන් විත්තිකාර අභියාචකවරුන්ගේ පිළිතුරු දේශන ලබන 24 සහ 30 දෙදින තුළ සිදු කිරීමට කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) දින නියම කර තිබේ.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා දින හයක් තුළ නඩු වාර හයකදී කළ කරුණු දැක්වීම් අද (16) දිනයෙන් අවසන් වූ අතර ඒ අනුව විත්තිකාර අභියාචක පාර්ශ⁣වයේ පිළිතුරු දේශන එදිනට කල් තැබීමට අධිකරණය නියම ක ඇත.

ඉකුත් 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ, එවකට අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු සඳහා වාසිවන අන්දමින් දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා රජයට අයත් රුපියල් මිලියන 625ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකාර අභියාචකයින්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා නඩු විභාගයක් පැවතණි. එමනඩු විභාගයේ තීන්දුව ඉකුත් 2017 සැප් 07 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වැරදිකරු බවට තීන්දු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා මිලියන 2 බැගින් වන දඩ මුදලක් සහ මිලියන 50ක වන්දි මුදලක් නියම කළේය.

එම දඩ මුදල් හා සිර දඩුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි පෙන්වා දෙමින් අභියාචනා ඉදිරිපත් කරන පෙත්සම්කරුවන් එම දඬුවම අහෝසි කර තමන්ව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන්ද අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සම්වලින් ඉල්ලා තිබිණි.

Facebook
Twitter
LinkedIn