2019 අවසන් මාස නවයේ ශ්‍රී ලංකන් පාඩුව කෝටි 1,500යි

2019 අවසන් මාස නවයේ ශ්‍රී ලංකන් පාඩුව කෝටි 1,500යි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පසුගිය 2019 වසරේ අවසන් මාස නවයේදී රුපියල් කෝටි 1,500ක පාඩුවක් ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි.

එම වාර්තාවට අනුව ගුවන් සමාගම ඊට කලින් වසරේ (2018) ලබා තිබූ මූල්‍ය පාඩුව රුපියල් කෝටි 3,300කි.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවෙන් පසු ගුවන් මගීන් ප්‍රමාණය අඩුවීම ගිය වසරේ පාඩුවට ප්‍රධානම හේතුව බව සඳහන් කරන මහ බැංකු වාර්තාව ආදායම පහත වැටුණද අඩු ඉන්ධන මිල ගණන් හා ඉන්ධන ප්‍රශස්තිකරණ පියවර හේතුවෙන් සමාගම මෙහෙයුම් වියදම අඩුකරගෙන ඇතැයිද ප්‍රකාශ කරයි.

පාස්කු ඉරුදින ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම ආරක්ෂක හේතු මත අඩුවීම හේතුවෙන් ගුවන් සමාගම් එකොළහක් මෙරටට සිදුකළ පියාසර වාර ගණන අඩු කර ඇත. මේ අනුව සතියකට සිදුවූ ගුවන් ගමන්වලින් තිස් දෙකක්ද අවලංගු වී ඇත.

මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සිදුකරන ලද මුළු මගී හැසිරවීම් ප්‍රමාණය 2018 වසරේ වාර්තා කරන ලද මිලියන 10.8ට සාපේක්ෂව 2019 වසරේදී මිලියන 9.9ක් දක්වා 8.3%කින් පහත වැටී තිබිණැයිද එම වාර්තාවේ දැක්වේ.

ගුවන් තොටුපොළේ භාණ්ඩ හැසිරවීම් ප්‍රමාණයද 2018 වර්ෂයේ වාර්තා කළ මෙට්‍රික් ටොන් 2,68,496 හා සැසඳීමේදී මෙට්‍රික් ටොන් 2,46,406ක් දක්වා 8.2%ක පහත වැටීමක් පෙන්නුම් කර ඇත.

දේශීය ගුවන් මගී හැසිරවීම්ද 2018 වසරේ වාර්තා කළ 30,725ක සංඛ්‍යාව හා සැසඳීමේදී ගිය වසරේදී 20,584ක් දක්වා 33%ක පසුබෑමක් පෙන්නුම් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn