හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු 07 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් වැඩිදුර සළකා බැලීම ලබන 21 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (14) තීන්දු කර තිබේ.
ඒ අනුව මහ බැංකුවේ 2016 වසරේ මෛත්‍රී+රනිල් පාලන සමයේ සිදු කළ මහ බැංකුවේ බැඳුම්කර වංචාවට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය මෙම වසරේ ජූලි 07 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉදිරියටත් ක්‍රියාත්මක වේ.
2016.03.29 පැවති බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපලක් වූ රුපියල් බිලියන 36.98ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීම සඳහා සෙසු සැකකරුවන් සමග කුමන්ත්‍රණය කිරීම සහ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ නියෝජිතයින්ට වංචා කිරීම යන චෝදනා නීතිපතිවරයා විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම 2016 මාර්තු 31වනදා පැවති බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපළක් වූ රුපියල් බිලියන 15ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීම සදහා සෙසු සැකකරුවන් සමග කුමන්ත්‍රණය කර ඇති බවට වන චෝදනාවද රවී කරුණානායක මහතාට ඉදිරිපත් කර ඇති තවත් චෝදනාවක් වේ.
අභියාචනාධිකරණ සභාපති ඒ .එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවිණි.
පෙත්සම අද කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයට දන්වා ඇත්තේ පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා හෙට (16) ගොනු කරන බව ය.
ඒ අනුව කරුණු සළකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම නීතිපතිවරයාට අවසර ලබා දී ඇති අතර පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර සළකා බැලීම ලබන 21 වැනිදාට කල් තබා ඇත.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ විධායක අධ්යක්ෂ කසුන් පළිසේන, චිත්ත රංජන් හුළුගල්ල, මහ බැංකු වේ හිටපු නිලධාරියකු වන සංගරපිල්ලෙයි පද්මනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් මෙහි සෙසු විත්තිකරුවෝ වෙති.










