ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් අද (14) අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයාට නොවැම්බර් මස 12 වනදා දක්වා කල් ලබා දී ඇත.
පෙත්සම් ඉදිරිපත් කළ කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ කඩා ඉවත් කළ බව කියන ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් පුරාවිද්‍යා පනත යටතේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර නොමැති බව ය.
එබැවින් තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීතිමය වශයෙන් බල ශූන්‍ය නියෝගයක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව, කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක් බව මීට බොහෝ කලකට පෙර ඔහුගේ මුහුණුපොතේ පල කර තිබිණි.
එමෙන්ම, මෙම ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගනිමින් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාව වහාම අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස් පතිවරයාට සහ කුරුණෑග ස්ථානාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාලිමාව පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසින් පසුගිය දා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබී ය. එය ද ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිත ය.










