ලංකාගම ඉඩමකට තමන්ගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට තමන් කැමති බවත් එසේ හුවමාරු කරගැනීමට කැමති අයෙක් වේනම් තමන්ව අමතන ලෙසත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ, දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය සිය මුහුණු පොතෙහි සටහන් කර ඇත.
තම ඉඩම ලංකාගම ඉඩමකට හුවමාරු කරගෙන එසේ ලබාගන්නා ලංකාගම ඉඩම සිංහරාජ රක්ෂිතයට පැවරීම ඇගේ අරමුණ බවද ඇය එහි සටහන් කර තිබේ.
“ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමතියි. හුවමාරුවට කැමති අයෙක් අමතන්න” යනුවෙන් ඇය සිය මුහුණු පොතෙහි සටහන් කර තිබේ.
ඇය සිය මුහුණු පොතේ මෙම සටහන තැබීමෙන් පසු තවත් බොහෝ දෙනෙක් ඇය හා එක්වෙමින් සිංහරාජ අඩවියට පැවරීම සඳහා ලංකාගම ඉඩම් තම ඉඩම් සමඟ හුවමාරු කරගැනීමට කැමැත්තද පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී දේවානි ජයතිලක මහත්මිය පැවසුවේ තමන්ට අයත් කෑගල්ල ප්‍රදේශයේ ඉඩමක් මෙසේ හුවමාරු කරගැනීමට තීරණය කළ බවයි.
එහි කැලෑවක් නිර්මාණය කිරීමට තමන් සැලසුම් කර තිබූ බවත්, කුඩා කැලෑවක් නිර්මාණය කිරීමට වඩා සිංහරාජය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් යමක් කිරීම වැදගත් යැයි සිතුණු නිසා මෙම තීරණය ගත් බවද ඇය කීවාය.
ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන තමන්ට සිංහරාජය වෙනුවෙන් රාජකාරී මට්ටමින් යමක් කළ නොහැකි නිසා පෞද්ගලිකව හෝ එයට දායකවීමේ අරමුණින් මෙම පියවර ගත් බවද ඇය පැවසුවාය.
දේවානි ජයතිලක මහත්මිය පසුගිය දිනවල දැඩි කතාබහට ලක් වූ වන නිලධාරිනියකි.
ඒ මීගමුව ප්‍රදේශයේ කඩොලාන පද්ධතියක් විනාශ කරමින් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා වූ යෝජනාවකට සෘජු ලෙස විරෝධය පලකරමින් වර්තමානයේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන සනත් නිශාන්ත මහතා සමඟ මත ගැටුමක යෙදුණු සිද්ධියක් සමාජ මාධ්‍ය හා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමත් සමඟ ය.
මේ අතර පසුගියදා මාලිමාවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වැදි ඉසුරු සුභසිංහ මහතාද සිය මුහුණු පොතේ සහටහනක් යොදමින් සඳහන් කර ඇත්තේ තමන්ට විශාල ඉඩම් නැතත් දේවානි ජයතිලක මහත්මිය ගත් තීරණයට ශක්තියක් ලබා දෙමින් තමන්ද ලංකාගම ඉඩමකට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉඩමක් හුවමාරු කර එම ලංකාගම ඉඩම සිංහරාජයට පැවරීමට සූදානම් බව ය.










