වෛද්‍ය සේවාව නොසලකා හරින්නේ සෞඛ්‍ය සේවාව තවදුරටත් පෞද්ගලීකරණය කිරීමටයි – ACMOA

6/2006 චක‍්‍රලේඛයට අනුව සේවා ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක නොකිරීම හරහා වෛද්‍ය සේවාව නොසලකා හරමින් සිටින බවත් එහි සැබෑ අරමුණ සෞඛ්‍ය සේවාව තවදුරටත් පෞද්ගලීකරණය කිරීම බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය පවසයි. එම සංගමයේ සභාපති වෛද්‍ය එන්. කේ. අත්තනායක මහතා හා ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතාගේ අත්සන් සහිතව මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පරිදි වේ.

“රාජ්‍යය සේවයේ නියුතු සීමාවාසික, ශ්‍රේණිගත, විශේෂඥ සහ පරිපාලන කාණ්ඩවලට අයත් වෛද්‍යවරුන් අතුරින් අති බහුතරයක් ශ්‍රේණිගත වෛද්‍යවරුන් වේ.  සිමාවාසික පුහුණුව නිම කල වෛද්‍යවරුන් ප‍්‍රාථමික ශ්‍රේණිය (primary grade)ට අනුයුක්ත කෙරෙන අතර වසර දෙකකට පසු දෙවන ශ්‍රේණියට (grade II) උසස් කරනු ලැබේ. දෙවන ශ්‍රේණියේ වසර දහ අටක සේවා කාලයකින් පසු පළමු ශ්‍රේණියට (grade I) උසස්වීම ලබන අතර ඩිප්ලෝමා වැනි පශ්චාත් උපාධි සුදුසුකම්  ලබාගැනීමට සමත් වුවහොත් වසර 10කින් පළමු ශ්‍රේණියට උසස්වීම ලබා ගත හැක. 06/2006 චක‍්‍රලේඛය නිකුත් කරන තෙක් ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ උසස්වීම් පටිපාටිය ඒ ආකාරයට ක‍්‍රියාත්මක විය.

ජාතික වැටුප් සහ සේවක සංඛ්‍යා  කොමිසමේ නිර්දේශ මත 2006 වසරේ නිකුත්කල 06/2006 චක්රකලේඛය අනුව දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරයකුට කලින් මෙන් වසර 18ක් නොසිට වාර්ෂික වැටුප් වර්ධක 8කට පසු පළමු ශ්‍රේණියට උසස්වීමට හැකියාව ලැබේ. මෙම නව ක‍්‍රමයට උසස්වීම් ලැබීමට නම් 06/2006 චක‍්‍රලේඛයේ ප‍්‍රතිපාදන අනුව වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව යාවත්කාළින කල යුතුවිය. ඉහත චක‍්‍රලේඛයෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තුමේන්තු ප‍්‍රධානින්ට සේවා ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස දැන්වුවද 2006 සිට අද දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම කාර්යය පැහැර හැර ඇත. එබැවින් වෛද්‍යවරුන් සඳහා තවමත් ක‍්‍රියාත්මක වන්නේ පැරණි උසස්වීම් ක‍්‍රමයමය.

අමාත්‍යාංශයට සැබෑ වුවමනාවක් තිබුනි නම් එම උසස්වීම් පටිපාටිය 2006 වසරේම ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත හැකිව තිබුනි. උසස්වීම් ලැබීමත් සමග වාර්ෂික වැටුප් වර්ධක, අතිකාල දීමනා, නිවාඩු දින දීමනා පමණක් නොව මූලික වැටුපට සාපේක්ෂව ගණනය කරන විශ‍්‍රාම වැටුපද වැඩිවේ. වෛද්‍යවරුන් දහස් ගණනකගේ උසස්වීම් ප‍්‍රමාද කිරීමෙන් වැඩිවූ වැටුප් සහ දීමනා වෙනුවෙන් වැයවන මුදල ඉතිරි කර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබේ. ඊට අමතරව, අඩු වැටුප හේතුවෙන් රජයේ වෛද්‍යවරුන් පෞද්ගලික අංශයට යොමු වීම පෙළඹවීමටත් එමගින් රජයේ සෞඛ්‍යය සේවාවට යොමුවන රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීමටත් හැකිවේ. වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් සහ අත්‍යවශ්‍ය පහසුකම් නොදීම නිදහස් සෞඛ්‍ය සේවාවට වෛද්‍යවරුන් එක්වීම සහ එහි රැදී සිටීම අධෛර්යය කරවන්නක් වන අතර එය සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණයටද පහසුවක් වේ. තාවකාලිකව ආණ්ඩුවට වාසිදායක වුවද මෙම උසස්වීම් කප්පාදුව දීර්ඝ කාළිනව රටට බරපතල අවාසියකි.

මිලියන 20 ඉක්මවූ ජනතාවකගේ නිවාරණ සහ ප‍්‍රතිකාර සේවාවන්හි වගකීම පැවරී ඇත්තේ  රජයේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 17,000 මතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව අවම වශයෙන් අප රටේ ජනගහනයට සාපේක්‍ෂව වෛද්‍යවරැන් 40,000ක් වත් සිටිය යුතුය. ඉතා අවම පහසුකම් මැද රෝගීන්ගේ ජීවිත සමග සෘජුව කටයුතු කරන වෛද්‍යවරුන්ගේ රාජකාරිය ඉතාමත් වගකීම් සහිත, දැඩි මානසික ඒකාග‍්‍රතාවක් අවශ්‍යවන ඉහල කාර්යක්ෂමතාවකින් ඉටුකල යුතු එකක් බව අවිවාදිතය.

වර්තමාන ස්ථාන මාරු ප‍්‍රතිපත්තිය අනුව වසර හතරකට වරක් රාජකාරි කරන ස්ථානයත් පදිංචියත් වෙනස් කිරීමට සිදුවීම, ඒ අනුව පාසැලකට ළමුන් ඇතුලත් කිරීමේ දැඩි දුෂ්කරතාව, වැටුප් විෂමතා, උද්ධමනයට ප‍්‍රමාණවත් නොවන වැටුප, ඒ හේතුවෙන් විවේකයක් නොගෙන පුද්ගලික අංශයේ අමතර සේවයේ යෙදීමට සිදුවීම, රටේ අනාගතය සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතතාව, නිළ නිවාස හඟය, රාජකාරියට අවශ්‍ය පහසුකම්වල දැඩි හිඟය, නිවසක් ඉදිකරගැනීම සහ තෘප්තිමත් පවුල් ජීවිතයක් ගත කිරීමේ දුෂ්කරතාව වැනි සකලවිධ දුෂ්කරතා මැද ජීවත්වන වෛද්‍යවරු  විවිධ හේතු ඉදිරිපත් කරමින් දිගින් දිගටම නොසලකා හැරීමට ලක්වනවිට අසහනයටත් අතෘප්තියටත් පත්වීම ස්වභාවිකය. එය වෘත්තියේ කාර්යක්මතාවට සෘජුවම බලපායි. වැඩවර්ජන වැනි ක්රිතයාමාර්ග වල නිරත නොවුනද කාර්යක්ෂමතාව අඩුවීම නොනිළ අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට සමාන නොවන්නේද? සේවා තෘප්තිය සහ කාර්යක්ෂමතාව නීතිමය කටයුතුවලින් හෝ වෛද්‍යමවරුන්ට එරෙහි චෝදනාවලින් යථා තත්ත්වයට පත්කල නොහැක.

නව උසස්වීම් පටිපාටිය 2006 වසරේ සිට ක‍්‍රියාත්මක නොකිරීමෙන් වෛද්‍යවරුන්ගේ මානව හිමිකම් කඩවී ඇති බවට වූ පැමිණිල්ලක් මානව හිමිකම් කොමිසම ඉදිරියේ ගොනු කිරීමටද අප පියවර ගත්තෙමු. අත්‍යවශ්‍ය සේවාවක නිරත බුද්ධිමත් වෘතිකයන් පිරිසක් වූ වෛද්‍යවරුන් තව දුරටත් නොසලකා හරිමින් නොසිට 06/2006 චක‍්‍ර ලේඛයට අනුකූල උසස්වීම් පටිපාටිය ක‍්‍රියාත්මක කරන ලෙසත් 2006 වසරේ සිට හිඟ මුදල් ගෙවීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුවට අවධාරණය කරන අතර මේ අයුරින් දිගින් දිගටම වෛද්‍ය සේවය නොසලකා හැරීම සෞඛ්‍යය සේවය තවදුරටත් පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙලේ තවත් දිගුවක් බව ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කර සිටිමු.”

Facebook
Twitter
LinkedIn