කේරලය දෙස බලන්න….
(ආදර්ශමත් ප්‍රාන්තයක්)
බොහෝ රටවල් කෝවිඩ්-19 තත්වය හමුවේ විවිධ පියවර ගෙන තිබෙනවා. කොවිඩ්-19 වසංගතය හමුවේ ඉන්දියාවෙන් විවිධ වූ අත්දැකීම් දක්නට ලැබෙනවා. බිලියන 1.3ක ජනගහනයක් ඇති රටක වෛරසය පාලනය කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග ඇතැමෙකුගේ විවේචනයට ලක්වුණා. ඇතැම්විට දහස් ගණන් මිනිසුන්ට පාගමනින්ම නිවෙස් බලා යාමට බල කෙරී තිබුණා. ඉන්දියාව තුළ ආසාධිතයින් හා මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබියෙදී එක් ප්‍රාන්තයක රටේ සෙසු ප්‍රදේශවලට ප්‍රතිවිරුද්ධ දෙයක් සිදුවෙමින් තිබෙන බව පේනවා. එනම් ඉන්දියාවේ නිරිතදිග ප්‍රදේශයේ කේරලයයි. එය Break the Chain ‘දම්වැල බිඳිමු’ නම් සටන්පාඨය ඔස්සේ ජනතාව වසංගතය මැඩලීම සඳහා පෙළගස්වමින් සිටින තැනයි.
මේ වැදගත් මාතෘකාව කථා කිරීමට අප සමග සම්බන්ධ වනවා කතුවරයෙකු වන විජේ ප්රෂාද්.
ආර්ටී නිවුස් -: අනෙක් ඉන්දියානු ප්‍රාන්ත සමග සලකන විට කේරලයේ දිනකට නව අසාධිතයින් හමුවීම අවම අගයක් ගන්නවා. විජේ, ඔබ ලියා තිබෙනවා, වෛරසයේ බලපෑම හමුවේ කේරලයේ ස්ථාවර තත්වයක් තිබෙන බව. ඔබ කියන්නේ එහි වාමාංශික ආණ්ඩුවක් තිබිමත් සිවිල් සමාජ සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන විශාල වශයෙන් ජනතාව පෙළගැස්වීමත් හේතුවෙන් එසේ වී ඇති බවයි. මුහුණු ආවරණ, අත්සෝදන දියර, පොදු ස්ථාන පිරිසිදු කිරීම ආදී ආරක්ෂණ ක්‍රමවේද එහි බහුල ලෙස යෙදන බව කියවුණා. මෝදිගේ ආණ්ඩුව කේරලයෙන් ආදර්ශයක් ගැනීමට කැමති වනු ඇතැයි ඔබ හිතනවාද?
විජේ ප්රෂාද් -: ඔබ සමග එක්වීම ගැන සතුටුයි. පලමුවෙන්ම කිව යුත්තේ කේරලය මිලියන 35ක ජනගහනයක් ඇති ප්‍රාන්තයක්. එහි මිලියන 17ක් වන කාන්තාවන්ගෙන් මිලියන 4.5ක් සමුපකාර සමිතිවල සාමාජිකත්වය දරනවා. එය ජනතාව වෘත්තීය සමිති තුළට, කාන්තා සංවිධානවලට හා සියලු ආකාරයේ සමුපකාර සංගම් තුළට සංවිධාන ගත කරනු ලැබ තිබෙන සුවිශේෂී ප්‍රාන්තයක්. වෛරසයක් පිළිබඳ පළමු ප්‍රවෘත්තිය වූහාන් නගරයෙන් ලැබුණු මොහොතේ කේ.කේ. සෙල්ජා සෞඛ්‍ය ඇමතිනිය වහා ක්‍රියාත්මක වුණා. ඇය මහත් කැපවීමක් ඇති දේශපාලඥයෙක්. සාක්ෂි මත පදනම්ව කල්පනා කළ ඇය මහජන සංවිධානවලට වහා ක්‍රියාත්මක වන ලෙස ඉල්ලුවා. ජනතාවගෙන් සෞඛ්‍ය නියමයන්ට අනුව ක්‍රියාත්මක වන ලෙස ඉල්ලුවා, ඔවුන් ප්‍රසිද්ධ ස්ථාන විෂබීජහරණය කිරීම, සනීපාරක්ෂක ස්ථාන ඇති කිරීම, මුහුණු ආවරණ මැසීම ඇතුළු වෛරසය මැඩපවත්වීමට උදව්වන බොහෝ දේ කළා. පළමුවෙන්ම සිදුකළ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන් ආසාධිත සංඛ්‍යාව බොහෝසෙයින් අඩු වුණා. මියගිය සංඛ්‍යාව ඉතා අඩු වුණා.
ආර්ටී නිවුස් -: මෝදි ආණ්ඩුව ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කරද්දී කේරල ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 270ක ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කළා. නොමිලේ ආහාර දීම, මාස දෙකක විශ්‍රාම වැටුප් ගෙවීම, සමුපකාර මගින් ණය සහන දීම, මාස දෙකක් ජල විදුලි බිල් ගෙවීම අත්හිටුවීම ආදී සහන ඊට ඇතුළත්. ඇමරිකා එක්සත් ජනපදයටත් ඇතැම්විට වෙනත් රටවලටත් කේරල අත්දැකීමෙන් කවරාකාරයේ පාඩමක් ලබා ගත හැකිද?
විජේ ප්රෂාද් -: මම වටේ යන්න කැමති නැහැ. කේරලයේ ආණ්ඩුව කොමියුනිස්ට් ආණ්ඩුවක්. එයාලගෙ ප්‍රධාන ප්‍රමුඛතාව ජනතාවගෙ යහපැවැත්මයි. නමුත් ඉන්දියානු ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කිසිවක් නොකරන අතිශය නොසැලකිලිමත් ආණ්ඩුවක්. එයාලා වෛරසය ආපුවහම මිලියන ගණන් සංක්‍රමණික කම්කරුවන්ට පයින් ගෙවල්වලට යන්න සැලැස්සුවා. දෛනික ආදායම් උපයන්නන් සම්බන්ධයෙන් ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබුණෙ නැහැ. ඉන්දියානු ආණ්ඩුව ජනතාවගෙ යහපැවැත්ම නොසලකා හරිද්දි කේරල ආණ්ඩුවේ ආකල්පය සම්පූර්ණ වෙනස්. කේරල වාමාංශික ආණ්ඩුවෙ ප්‍රමුඛතාව වුණේ අපි ජනතාව රැකබලා ගන්නෙ කොහොමද කියන එක. එයාලා ඒ වෙනුවෙන් ඉතා සරල දේවල් කළා. ඒවා ජනතාව ගැන සංවේදී ඕනෑම ආණ්ඩුවක් කළ යුතු දේවල්. උදාහරණයක් විදිහට එයාලා සෑම පළාත් පාලන ආයතනයක් මට්ටමින්ම පොදු මුළුතැන්ගෙවල් පිහිටෙව්වා. ඒවායින් දුෂ්කරතා තිබුණු ජනතාවට ඇවිත් කෑම අරන් යන්න පුළුවන් වුණා. ප්‍රාන්තයේ තරුණ සංවිධාන ජනතාවගේ නිවෙස්වලට ආහාර බෙදාහැරීම් සිදුකළා. මේ වාමාංශික ආණ්ඩුවේ ජනතාව පිළිබඳ සංවේදීභාවය අවධාරණය කරන්න මට අවශ්‍යයි.
ආර්ටී නිවුස් -: මෙයින් පේනනේ ඔවුන් එකිනෙකා අසල්වාසීන් මෙන් රැකබලාගත් බවයි. මේ ප්රශ්නයේදී මානුෂවාදී දෘෂ්ටියකින් ජනතාව දෙස බලා ඇති බවයි. අවසාන වශයෙන් මෙම තත්වය සමග ඔබ වසංගතය හමුවේ මෝදිගේ ආණ්ඩුවේ බරපතළ සීමාකිරීම් ජනතාවගේ ජීවිතවලට කරන ලද බලපෑම සමග සංසන්දනය කරන්නේ කොහොමද?
විජේ ප්රෂාද් -: චීනයේ වගේ නෙමෙයි, ඉන්දියාවේ බිලියන 1.5ක ජනගහනයෙන් අඩක් කුසගින්නේ සිටින බව තේරුම් ගැනීම වැදගත්. ඒක චීනයට වඩා ගොඩක් වෙනස් තත්වයක්. ඒ නිසා ඉන්දියානු ආණ්ඩුවේ තීරණය කුසගින්න හා සාගතය ඇති කරන සුළුයි. මෝදිගේ ආණ්ඩුව මේ පිළිබඳව කිසිවක් කළේ නැහැ. ඉන්දියාව තුළ සාගත, ආහාර කැරලි වැනි තත්වයක් ඇති විය හැකි යැයි මට විශාල කණස්සල්ලක් තිබෙනවා. පවතින තත්වය තවත් දරුණු විය හැකියි. ආහාර ගැනීම වැනි සරල දෙයක් ගැන පවා මෝදිගේ ආණ්ඩුව නොසැලකිලිමත්. ජනතාව වේලක්, දෙවේලක් හෝ දවසට තුන්වේලක් ආහාර ගත යුතු බවට වන අවශ්‍යතා ගැන ඔවුන් සිතන්නේ නැහැ. කේරලය දෙස බලන්න. රෝගීන් පරීක්ෂාවට ලක්කිරීමේ ක්‍රියාවලියට පසු එම ආණ්ඩුවේ ප්‍රධාන පිළිවෙත වූයේ ජනතාවගේ ආහාර ප්රශ්නය විසඳීමයි.
ආර්ටී නිවුස් -: අපට මෙයින් නතර වීමට සිදුවෙනවා. විජේ ප්රෂාද්, අද කේරලය පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම ගැන ඔබට බොහොමත් ස්තූතියි.
විජේ ප්රෂාද් -: ස්තූතියි
ආර්ටී නිවුස් ඇසුරෙනි












