ජනතා විමුක්ති පෙරමුණේ වෙසක් දින පණිවිඩය

ජනතා විමුක්ති පෙරමුණේ වෙසක් දින පණිවිඩය

“බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන පරිසරයක් ගොඩනගාගැනීමත් එවැනි සමාජයක් ඇති කරගැනීම සඳහා පවතින බාධා ඉවත් කර ගැනීමටත් ලාංකේය බෞද්ධ ජනතාව මෙම වෙසක් දිනයේ අධිෂ්ඨාන කර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.” යැයි ජනතා විමුක්ති පෙරමුණ වෙසක් දින පණිවිඩය නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ…

සිදුහත් කුමරුගේ උපත, බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිණිවන් පෑම සිදුවූ වෙසක් පුන් පොහොය දිනය ශ්‍රී ලාංකේය පමණක් නොව මුළු ලෝකයේම බෞද්ධ ජනතාවට අතිශයින්ම වැදගත් දිනයකි. අවිහිංසාවාදය, සංහිඳියාව හා සමානාත්මතාවය වැනි මිනිස් සමාජය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා වූ ප්‍රතිපත්ති සමුදායක් බෞද්ධ දර්ශනය විසින් ලෝකට පෙන්වා දෙනු ලබයි.

මෙවර මැයි 07වැනි දින වෙසක් පොහොය දිනය එළඹෙන්නේ මුළු ලෝකයම කොවිඞ් 19 වසංගතයෙන් පීඩා විඳිමින් සිටියෙදීය. සාමාන්‍ය ජන ජීවිතය බිඳවැටී නිවෙස්වලට සීමා වී ගතකිරීමට සිදුව ඇති මොහොතක බෞද්ධ බැතිමතුන්ට සුපුරුදු ආගමික වතාවත්වල නිරතවීමට නොහැකිවී තිබේ. එහෙත් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය වෙතටත් එහි දර්ශනය වෙතටත් ආධ්‍යාත්මික වශයෙන් සමීපවීමට එය බාධාවක් නොවනු ඇත.

වර්තමානයේදී ශ්‍රී ලාකේය සමාජයේ විශාල කොටසක් බුදු බණෙන් දවස ආරම්භ කොට බුදු බණෙන්ම දවස හමාර කළද රට තුළ සිදුවන අපරාධ හා සමාජ විරෝධී හැසිරීම් දිනෙන් දින ඉහළ යමින් පවතී. රටක් තුළ අපරාධ වැඩි වන්නේ සොරකම් ඉහළ යන්නේත් ආධ්‍යාත්මික හා සදාචාර පිරිහීම් ඇතිවන්නේත් රටත් ජනයාත් ආර්ථික වශයෙන් කඩා වැටීම නිසා බව යන්න බුද්ධ දේශනාවේ ඉගැන්වීමයි. එබැවින් බෞද්ධ බැතිමතුන්ට බුදු දහමින් පෝෂණය වූ පෞද්ගලික හා සමාජීය ජීවිතයකට සමීපවීම දිනෙන් දින අසීරු කරනු ලැබෙමින් පවතී.

බුදුන් වහන්සේගේ ධර්මය සුරකින බවට ව්‍යාජ ලෙස පෙන්වමින් ජනතාව රවටන පාලකයෝ රට ආර්ථික වශයෙන් ඉහළ නංවා එහි ප්‍රතිලාභ ජනතාවට හිමිකරදීමට පියවර නොගනිති; අපරාධවලට, සොරකම්වලට, සදාචාර පිරිහීම්වලට සමාජය තුළ ඇති ඉඩ නොඅවුරති. එහෙත් ඒ වෙනුවට ඔවුහු වංචාවේත් දූෂණයේත් යෙදෙමින් රටත් ජනතාවත් තව තවත් ආර්ථික වශයෙන් කඩා වට්ටවන පියවර ගැනීමට කටයුතු කරමින් සිටිති. මෙවැනි දුර නොපෙනෙන පාලකයින් සිටිනා තාක් ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් බවට පත්වීම බොහෝ දුරය.

මේ තත්වය තුළ බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන පරිසරයක් ගොඩනගාගැනීමත් එවැනි සමාජයක් ඇති කරගැනීම සඳහා පවතින බාධා ඉවත් කර ගැනීමටත් ලාංකේය බෞද්ධ ජනතාව මෙම වෙසක් දිනයේ අධිෂ්ඨාන කර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

අනුර දිසානායක

නායක

ජනතා විමුක්ති පෙරමුණ

2020.05.07

Facebook
Twitter
LinkedIn