වතු කම්කරු ප‍්‍රජාවටත් රු. 5000 දෙන්න – සමස්ත ලංකා වතු කම්කරු සංගමය

වතු කම්කරු ප‍්‍රජාවටත් රු. 5000 දෙන්න – සමස්ත ලංකා වතු කම්කරු සංගමය

තම ආදායම් තත්වය ඉතාමත් පහළ මට්ටමක වන වතු කම්කරුවන් මේ වනවිට ජීවත්වීමේ අර්බුදයකට මුහුණ දී සිටින බැවින් ලක්‍ෂ එකහමාරක් පමණ වන වතු කම්කරු ජනතාව සඳහා රුපියල් 5000ක දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස සමස්ත ලංකා වතු කම්කරු සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියන් යොමු කරමින් ඉල්ලා සිටී.

මාසයේ දින 25ම වැඩ කළත් ඔවුන්ට උපයා ගත හැකි වන්නේ රුපියල් 19,000කට අඩු මුදලක් බවද පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණ තත්වය නිසාත් මාර්තු මස 20 වන දිනෙන් පසු ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක වීම නිසාත් වතු කම්කරුවන් හට අඛණ්ඩව වැඩ කිරීමට නොහැකි වී ඇතැයිද එම සංගමය අවධාරණය කරයි.

කොරෝනා වෛරසය නිසා තම ආර්ථිකය කඩා වැටුන අනෙකුත් ජනතාවට මෙන් තම ගෙවත්තේ පොල්, කොස් වැනි බෝගවලින් ලැබෙන අතිරේක ආදායම් මාර්ග කිසිවක් නොවීමද කොළඹ වැනි දුරබැහැර නාගරික ප‍්‍රදේශවලට ගොස් කුලී වැඩක් කිරීමෙන් තම පවුලේ සාමාජිකයින් හරහා ලැබුන ආදායමද මේ මොහොත වනවිට ඇහිරී ගොස් ඇති බවත් එවැනි හේතු කාරණා නිසා ගෙවෙමින් තිබෙන කාලපරිච්ඡේදය ඔවුන්ට දරාගත නොහැකි පීඩනයකින් ජීවත්වීමට සිදුව ඇතැයිද පවසන එම සංගමය වතු කම්කරු ප‍්‍රජාවට රුපියල් 5000ක සහන දීමනාව කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.

සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කේ. සෙල්වරාජ් හා ලේකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ අත්සන් සහිතව මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇත.

Facebook
Twitter
LinkedIn