හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි සොහොයුරා සහ පියා පෙත්සම් දෙකක් ඉදිරිපත් කරයි

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි සොහොයුරා සහ පියා පෙත්සම් දෙකක් ඉදිරිපත් කරයි

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හබයාස්කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එම නීතීඥවරයාගේ පියා සහ සොහොයුරා අභියාචනාධිකරණය හමුවේ වෙන වෙනම රිට් පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.

මෙම රිට් පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

එසේම නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවත් ඔහුව වහාම නිදහස්කරන ලෙසත් නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති.

නීතීඥ සනත් විජේවර්ධන සහ නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්ම මහත්මීන් මාර්ග⁣යෙන් ගොනු කර ඇති මෙම පෙත්සම් මඟින් පෙත්සම්කරුවෝ මෙසේද කියා සිටිති.

දැනට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා “සේව් ද පර්ල්” නැමැති අරමුදලේ භාරකරු වේ. මෙම අරමුදල මඟින් අනාථ දරු දැරියන්ට ආධාර උපකාර කරනු ලබයි. මේ පිළිබදව මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නීතිඥවරයා ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන තිබේ.

ඊට අමතරව පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ සැකකරුවෙකු වන ඉබ්‍රාහිම් නැමැත්තාගේ නඩු කටයුතුවලට පෙනී සිටීම පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර නීතීඥවරයාගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.

තත්වය මෙසේ තිබයදී පසුගිය 14 වැනිදා නීතීඥවරයා සිය නිවසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් නිවසට පැමිණ ඔහුට දුරකථන අංක කිහිපයක් ඉදිරිපත් කර ඒ පිළිබදව ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ. ඊට අමතරව ඉබ්‍රාහිම් නැමැත්තාගේ කොළඹ දිසා අධිකරණයේ පවතින නඩුවක ලිපිගොනු පිලිබඳ විමසා නීතීඥවරයා ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඉන්පසුව ඊට පසුදින වූ 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නීතීඥවරයාට නියෝග කර ඇත. ඒ අනුව 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය විට ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීලසිටින ක්‍රියාධරයෙකු බවත්, විශේෂයෙන්ම සුළුතර මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින්නෙකුද බවත් එසේම පසුගියදා කොරෝනා වයිරස් තත්ත්වය හසුවේ මියගිය මුස්ලිම් ජාතිකයින් ආදාහනය කිරීමට බලධාරීන් ගත් තීරණ දැඩිව විවේචනය කළ අයෙක්වූ බැවින් එම තත්ත්වය මෙම අගතිදායක අත්අඩංගුවට ගැනීමට තවත් හේතුවක් වන්නට ඇතැයි කියා සිටී.

මෙසේ අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි වේ.

එබැවින් මෙම නීතීඥවරයා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් වගඋත්තරකරුවන්ට හබයාස්කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද නීතීඥවරයා පොලිස් අත්අඩංගුවෙන් මුදා හරින ලෙසටද නියෝග කරන්නැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටිති.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn