කොරෝනා හමුවේ විදේශගත ලාංකිකයන් මුහුණ දෙන ගැටළු ගැන සුනිල් හඳුන්නෙත්ති, දිනේෂ් ගුණවර්ධනව දැනුවත් කරයි

කොරෝනා හමුවේ විදේශගත ලාංකිකයන් මුහුණ දෙන ගැටළු ගැන සුනිල් හඳුන්නෙත්ති, දිනේෂ් ගුණවර්ධනව දැනුවත් කරයි

කොරෝනා වෛරසය හෙවත් Covid-19 වසංගත තත්වය මත විදේශගත ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව දැනුවත් කිරීමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව දැනුවත් කරමින් ලිපියක් යොමු කර තිබේ.

ප්‍රධාන කරුණු පහක් යටතේ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම ලිපිය පහතින් පල වේ.

සුනිල් හඳුන්නෙත්ති,

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ,

සභාපති,

එතෙර අපි සංවිධානය,

20/43, නුග ගහ පෙදෙස ,

පිළියන්දල පාර, මහරගම .

2020.04.07.

දිනේෂ් ගුණවර්ධන මහතා ,

අමාත්‍ය විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය,

ජනරජ ගොඩනැගිල්ල,

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,

කොළඹ 01.

මහත්මයාණෙනි,

Covid 19 වසංගත තත්වය මත විදේශගත ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව දැනුවත් කිරීම.

මේ වන විට ලෝක වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති covid 19 නිසා ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශ ගත රැකියාවන්හි නිරත වන ශ්‍රී ලාංකිකයන් ද බොහෝ අපහසුතාවයන්ට මුහුණ දෙමින් සිටී.

ඒ අතරින් පහත ගැටලු ඉතා ප්‍රමුඛ අවශ්‍යතා ලෙස අප දකින අතර ඔබතුමාගේ කාරුණික අවධානයට යොමු කරමු.

  1. විදෙස්ගත රැකියාවක නිරත වන අයෙකු යම් අයුරකින් කොරෝනා රෝගී තත්ත්වයට ගොදුරු වුවහොත් එම පවුල්වල සාමාජිකයන් පිළිබඳ සොයා බැලීම සහ ඔවුන්ගේ මානසිකත්වය නගාසිටුවීමට ඉක්මන් වැඩපිළිවෙළක් සකස් කිරීම.
  2. විසා කාලය අවසන් වී එහෙත් ගුවන් ගමන් නැවැත්වීම නිසා ශ්‍රී ලංකාවට යාමට නොහැකිව සිටින පුද්ගලයන් පිළිබඳව නීතිමය සත්‍ය සොයාබැලීම සහ තානාපති කාර්යාල හරහා ඊට අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීම.
  3. සංචාරක සහ ව්‍යාපාරික කටයුතු වලට විදේශගතව එහෙත් ශ්‍රී ලංකාවට ආපසු යාමට නොහැකි වී සිටින පුද්ගලයන් පිළිබඳව සංගණනයක් ලබාගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම.
  4. නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් බලා යන පිරිසට සමානුපාතිකව විදෙස් රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් සුදුසු ප්‍රමුඛතා පදනම මත නිරෝධායනය ට යටත්ව ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීම.
  5. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් විදේශගත ශ්‍රමිකයන් සඳහා නිකුත් කරන ලද රක්ෂණාවරණයන් මේ අවස්ථාවේ ලබා ගත හැකි සහන පිළිබඳව දැනුවත් කිරීම.

ඉහත සඳහන් ගැටලු පිළිබඳව කඩිනම් පියවර ගනු

ඇතැයි අපේක්ෂා කරමු.

ස්තුතියි,

මෙයට ,

විශ්වාසී,

සුනිල් හඳුන්නෙත්ති.

සභාපති,

එතෙර අපි සංවිධානය,

පිටපත- සභාපති, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය.

Facebook
Twitter
LinkedIn