ගොවිජනතාවට දුන් පොරොන්දු ජනාධිපතිවරයා ඉටු නොකළොත් අපි හඬ නගනවා…

ගොවිජනතාවට දුන් පොරොන්දු ජනාධිපතිවරයා ඉටු නොකළොත් අපි හඬ නගනවා…

“ආණ්ඩුව කරන හොඳ දේවල්වලට අපි සහාය දෙනවා. උද්ඝෝෂණයක් කිරීම් කරන්නේ නැහැ. හැබැයි ගොවි ජනතාව නඟා සිටුවීමට ඔවුන්ගේ ඉල්ලීම්වලට ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පොරොන්දුවලට බහුතරයක් ගොවි ජනතාව චන්දය ප්‍රකාශ කළා. ඒ ගොවි ජනතාවගේ ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් ඒ වෙනුවෙන් අපි හඬක් නගනවා” යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා අද (29 ) දඹුල්ලේදී පැවසිය.

ඒ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිණි.

මෙම මාධ්‍ය හමුවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් ටි.බී සරත් මහතා, දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ කැඳවුම්කරු ඩබ්ලිව්.එම් තිලකරත්න මහතා, එම පදනමේ කමිටු සාමාජික සිරිල් ප්‍රේමරත්න මහතා එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා…

“අලුත් ආණ්ඩුව යටතේ අපි පවත්වන පළමු මාධ්‍ය හමුව මෙයයි. නව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තම ධුරයේ රාජකාරි ආරම්භ කරමින් මාධ්‍යට ප්‍රකාශයක් කළා අමාත්‍යාංශය තිබුනත් නැතත් දෙපාර්තමේන්තුව තිබුනත් නැතත් අපි හිටියත් නැතත් මෙරට ගොවියා හැමදාම වගා කරනවා. සාමාන්‍ය පරිදි ගොවියා ගොවි තැනෙ යෙදෙනවා කියලා. හැබැයි වසර 71 පුරාවට මේවා නියාමනය කරන්න වැඩ පිළිවෙලක් තිබුනේ නැහැ. අපි දිගින් දිගටම වසර ගණනවක් ආණ්ඩුවලට මේ බව පෙන්වා දුන්නා.

ආණ්ඩු පත් කරන්නේ ඇමතිවරු පත් කරන්නේ නිසි වැඩ පිලිවෙලක් එක්ක විද්‍යාත්මක පදනමකින් කෘෂිකර්මය ප්‍රවර්ධනය කරන්න. හැබැයි ඒ දේ මෙතෙක් කෙරුනේ නැහැ. රටේ ජාතික නිෂ්පාදනයට සම්බන්ධවන්නේ 7%ක්.

දැන් මේ දිනවල ලොකු ලුණු මිල පාරිභෝගිකයාට දරන්න බැහැ, මිල වැඩියි. 2012 වසරේ මාතලේ දිස්ත්‍රික්කය ඇතුළු රටේ හෙක්ටයාර් 5387ක බිම ප්‍රමාණයක දේශීය ලොකු ලූණු වගා කළා. අස්වැන්න මෙට්‍රික් ටොන් 83561ක් පරිභෝජන අවශ්‍යතයට ලැබුන. 2013 වසරේදී හෙක්ටයාර් 4223 වගාකලා. අස්වන්න ලෙස මෙට්‍රික් ටොන් 69638ක් ලැබුනා. එහෙම තිබුන රටේ ලොකු ලුණු වගාවෙන් ගොවියා ඉවත්වුනා. 2019 වසරේ ලොකු ලූණු වගා කළේ හෙක්ටය්ර් 600ක් පමණ. අස්වැන්න වශයෙන් ලැබුනේ මෙට්‍රික් ටොන් 25,000ක් පමණ. අද ලොකු ලූණු ඉහළ මිල ගණන්වලට පිටරටින් ගෙන්වනවා.

කිසිදු සැලැස්මක් නැතිව ගොවියා වගා කරනවා. කෘෂිකර්මය ඉදිරියට යන්න ඕනනම් කනා බල්ලන් ගහනවා වගේ වැඩ කරලා බැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂය අතර බහුතරයක ගොවි ජනතාව සිටිනවා. ඔවුන්ට කප්පරක් පොරොන්දු දුන්නා. පොහොර නොමිලයේ, බිජ නොමිලයේ තවත් බොහෝ පොරොන්දු දුන්නා. ඡන්දයකදී ඡන්දය බලාගෙන දුන් පොරොන්දු ඉටුනොකරපු ඉතිහාසයක් තියෙන්නේ. අපි බලා සිටිනවා ගොවි ජනතාවට ලබාදුන් සහන ලබා දෙනතෙක්.

පසුගිය ආණ්ඩුව සමයේ ගොවි ජනතාව වගා හානි වන්දි සතියකින් ලබාදෙන බවට අපට පොරොන්දු වුනා. ඒ සදහා මුදල් පවා වෙන්කළා. නමුත් මේ වනතෙක් ඒ මුදල් ගොවීන්ට ගෙවල නැහැ. අම්පාර ප්‍රදේශයේ ගොවීන්ට රුපියල් කෝටි 33ක් ගෙවන්න තියෙනවා. මොනරාගල ගොවීන්ට කෝටි 16ක් ගෙවන්න ඕනා.

කෘෂි රක්ෂණ මුදල් ගෙවලා නැහැ. රක්ෂණ වන්දි මුදල් සාධාරන අයුරින් දුන්නේ නැහැ. දැන් මේ වන්දි මුදල් ගෙවන්න බාධාවක් නැහැ. මුදල් වෙන්කරලා තියෙන්නේ. එම මුදල් කඩිනමින් ගෙවන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය කඩා වැටිලා. කුරුඳු හැර අන් සියලුම සුළු අපනයන බෝග අදායම පහළ වැටිලා. ආණ්ඩුවේ බලධාරීන් කෘෂිකර්මාන්තය දියුණු කරනවා වෙනුවට හැම ආණ්ඩුවකම සෙට් එකක් ඉන්නවා. කොමිස් කුට්ටිය බලාගෙන සියලුම ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්න. ඒ කොමිස් මුදල් මත යැපෙන පුද්ගලයින් දේශය නිෂ්පාදන දිරි ගන්වන්න හිතුවේ නැහැ. හිතන්නේ නැහැ. ආනයනයෙන් ලැබෙන කොමිස් කුට්ටිය බලාගෙන වැඩ කරනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්