මන්දනා මහත්මිය‍ගේ ක‍්‍රියාකාරීත්වයට එරෙහිව එල්ලකළ බියගුළු ප්‍රහාරය හෙළා දකිමු – NTUC

මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම මහත්මියගේ මාධ්‍ය භාවිතාව නොඉවසන කණ්ඩායමක් ඇගේ නිවසට පැමිණ මරණීය තර්ජන එල්ලකොට ඇගේ දෙමව්පියන්ට සහ දියණියටද මරන බිය ඇතිකොට කරන ලද ක‍්‍රියාව පහත් බියගුළු ක‍්‍රියාවන්ගේ තවත් එක් ක‍්‍රියාවක් බවත් එය දැඩිව හෙළා දකින බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් ලාල් කාන්ත මහතාගේ අත්සනින් නිකුත් කොට ඇති නිවේදනය පහතින් පළ වේ.

“ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදිනයක ලෙස අපේ රටේ මාධ්‍ය භාවිතාවට අදාලව යම් නමක් දිනාගෙන සිටින මන්දනා ස්මයිල් අබේවික‍්‍රම මාධ්‍යවේදිනිය ශ‍්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිවරියද වන්නීය. ඇයගේ මාධ්‍ය භාවිතාව නොඉවසන කණ්ඩායමක් ඇගේ නිවසට පැමිණ මරණීය තර්ජන එල්ලකොට ඇගේ දෙමව්පියන්ට සහ දියණියටද මරණ බිය ඇතිකොට කරන ලද ක‍්‍රියාව ආණ්ඩුවේ පහත් බියගුළු ක‍්‍රියාවන්ගේ තවත් එක් ක‍්‍රියාවක් බවත් එය දැඩිව හෙළා දකින බවත් ප‍්‍රථමයෙන් පැවසීමට කැමැත්තෙමි.

අපේ රටේ ආණ්ඩුවල ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාවට සත්‍යය වාර්ථා කරන මාධ්‍යවේදීන් නිහඬ කරවීම සඳහා කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වන විවිධාකාරයේ පහරදීම්, බියවැද්දීම්, අතුරුදහන් කිරීම් හා මරා දැමීම් ආදියේ තවත් එක් ක‍්‍රියාවක් ලෙස මෙම ක‍්‍රියාව අපි හඳුන්වන්නෙමු. රිචඞ් ද සොයිසා, එච්. ඊ. දයානන්ද, ලසන්ත වික‍්‍රමතුංග, ආදීන්ද ප‍්‍රදීප් එක්නැලිගොඩද, සනත් බාලසූරිය, පෝද්දල ජයන්ත ආදීන්ද ආණ්ඩුවල ක‍්‍රියාකාරීත්වය හමුවේ ජීවිත අහිමිවීම්වලට මෙන්ම අතුරුදහන්වීම්වලටද, රට හැර යාම්වලටද ලක්වූ මාධ්‍යවේදීන්ය. මන්දනා මහත්මියගේ නිවසට කඩා වැදුණු මැර කණ්ඩායම දිගින් දිගටම ඇයට බලපෑම් කරමින් පවසා ඇත්තේ ආණ්ඩුවේ ක‍්‍රියාවලියට අදාල ලිපි ගොනු කිහිපයක් ලබා දෙන ලෙසයි. නමුත් එවැනි ලිපිගොනු තමන් සතුව නොමැති බව ඇය පැවසූ පසුව ඔවුන් තමන්ට කොන්ත‍්‍රාත්තුව භාර දුන් හාම්පුතාගේ උවමනාව ඉටු කිරීමේ අරමුණින් ඇගේ මුළු නිවස පුරාම අල්මාරි කඩා දමමින් ඒවා සොයන්නට කටයුතු කර ඇත. ඒ නිසාම ඔවුන්ට නොදැනිම ඔවුන් එම නිවසේ විශාල කාලයක් ගත කර තිබේ.

ආණ්ඩුව පවසන්නේ මංකොල්ල කරුවන් පිරිසක් මෙම ක‍්‍රියාවට සම්බන්ධ බවයි. පසුගියදා පුවත්පත්වල වාර්තා කළ ආකාරයට මංකොල්ලකෑම් සඳහා එකී මංකොල්ලකරුවන් කාලය ගෙවා තිබුනේ උපරිම විනාඩි 10ක 12ක තරම්ය. කෝටි ගණන් මුදල් මංකොල්ලකෑම සඳහා විනාඩි 12 ක තරම් කාලයක් ගත් මංකොල්ලකරුවන් මන්දනා මහත්මියගේ සන්තකයේ තිබී ඇති රුපියල් 2000 ක මුදල සහ ඇගේ පෞද්ගලික රත‍්‍රං ආභරණ මංකොල්ලකෑම සඳහා පැය 2 කට අධික කාලයක් ගෙවා තිබේ යැයි කඩිනමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයා ලවා පැවසීම තුළින් තහවුරු වන්නේ කරන ලද ක‍්‍රියාව වසා ගැනීම සඳහා දරණ ලද නිර්ලජ්ජිත උත්සාහයකි. එම ප‍්‍රකාශය සිදු කරන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා තොල් කට වියලීමෙන් එකී ප‍්‍රකාශය කරන බව එය හොඳින් නිරීක්‍ෂණය කරන්නකුට මනාව වැටහෙනු ඇත. එයද මෙම ක‍්‍රියාව හමුවේ ආණ්ඩුවේ සහ සම්බන්ධය තහවුරු කරන සාක්‍ෂියකි.

වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයින් මර්ධනය කිරීම රාජපක්‍ෂ ආණ්ඩුවට අලූත් දෙයක් නොවේ. මන්දනා මහත්මියට එල්ල කරන ලද ප‍්‍රහාරයද අප සලකන්නේ අපේ රට යහපත් රටක් ලෙස ගොඩනැංවීම සඳහා මාධ්‍යවේදිනයක ලෙසත් වෘත්තීය සමිති මූලිකයකු ලෙසත් ඇය ගනු ලබන උත්සාහයට එල්ල කරන ලද ප‍්‍රහාරයක් වශයෙනි. එබැවින් මෙම ප‍්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අප දැනට අත් අඩංගුවේ පසුවන මැර කණ්ඩායම මංකොල්ලකරුවන් ලෙස පමණක් නාමකරණයට ලක්කොට නිදහස් කරනවා වෙනුවට ඔවුන්ට එකී කොන්ත‍්‍රාත්තුව භාර දුන්නේ කවුරුන්ද කුමක් සඳහාද යන්න සාධාරණ පරීක්‍ෂණයකින් රටට හෙළි කළ යුතු බවයි. එසේම මෙම මර්දනීය ක‍්‍රියාකාරීත්වය වහාම නතර කිරීම සඳහා ආණ්ඩුව තීන්දු කළ යුතු බවත් නොඑසේ නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සියලූ බලවේග ඒකරාශී කරගත් දැවැන්ත ක‍්‍රියාකාරීත්වයකට වෘත්තීය සමිති ලෙස අප යොමුවීමට පසු බට නොවන බව දැඩිව අවධාරණය කරන අතර රාජපක්‍ෂ ආණ්ඩුවේ මෙම කෲ බියගුළු නිවට ක‍්‍රියාකාරීත්වටය පරාජය කිරීම සඳහා පෙළගැසෙන ලෙස මාධ්‍යවේදීන්ගෙන්ද, වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයන්ගෙන්ද, මුළු මහත් වැඩකරන ජනතාවගෙන්ද සමස්ත ජනතාවගෙන්ද අපි ඉල්ලා සිටින්නෙමු.”

Facebook
Twitter
LinkedIn