එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම තවදුරටත් කල්යමින් තිබේ.
තවත් මාස කිහිපයකින් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධාන මේ වනවිට සිය අපේක්ෂකයන් නම් කරමින් තිබේ.
එහෙත් එක්සත් ජාතික පක්ෂයට මේ වනවිටත් තම අපේක්ෂකයා නම් කිරීමට නොහැකි වී තිබෙන්නේ පක්ෂ අභ්‍යන්තරයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්වයන් හේතුවෙනි.
මේ වනවිට වාර්තා වන කරුණු අනුව පිරිසක් එක්සත් ජාතික පක්ෂය ලෙස තරඟ කළ යුතු බවට යෝජනා ඉදිරිපත් කරන අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් සන්ධානයක් තුළින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වියයුතු බවට මත පල කර ඇත.
එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ජනාධිපති අපේක්ෂකයා බව පවසමින් තනිව ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙන අතර පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඒ මහතාට සහය පළකරමින් කටයුතු කරමින් සිටිති.
එමෙන්ම, හරීන් ප්‍රනාන්දු, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, බුද්ධික පතිරණ ඇතුළු ඇමතිවරු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් නොකරන්නේ නම් සිරිකොත පක්ෂ කාර්යාලය ඉදිරිපිට විරෝධතා දක්වන බවද මාධ්‍ය ඔස්සේ පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිතවාදී පිරිස් මේ වනවිට මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් සිටින්නේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසුව සිදු කරන බවත් නව සන්ධානය ගොඩනැගීම අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව සිදු කරන බවත්ය.
දේශපාලන විචාරකයන් පවසන්නේ මෙම ප්‍රකාශ තුළින් අනාවරණය වන්නේ එජාපය තුළ හටගෙන ඇති අර්බුදකාරී ගැටුම්කාරී තත්වය සරළ නොවන බවත් එම අර්බුදය විසඳා ගැනීමට හැකි යෝජනාවක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත්ය. එමෙන්ම එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම තවත් දින ගණනාවකින් පස්සට යනු ඇති බවත්ය.










