මහින්දානන්ද ඇතුළු 2කට එරෙහි කැරම්බෝඩ් නඩුව විශේෂ මහාධිකරණයේ කැඳවයි

මහින්දානන්ද ඇතුළු 2කට එරෙහි කැරම්බෝඩ් නඩුව විශේෂ මහාධිකරණයේ කැඳවයි

රුපියල් මිලියන 53ක මුදලක් රජයට පාඩුකර ඇති බවට චෝදනා එල්ලවී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන නඩුව අවසන් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(27) නියෝග කර සිටියාය.

සිද්ධියට අදාල නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබූ අවස්ථාවේ අල්ලස් කොමිසම විසින් අධිකරණයට දන්වා ඇත්තේ මෙම සිදධියට අදාලව කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති බවය.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුව නිමා කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර සිතාසි ලැබුණු පසුව විත්තිකරුවන්ට කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළාය.

2014 වසරේ සැප්තැම්බර් මස පළමු වැනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා වූ කාලසීමාව තුළ පැවති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ස.තො.ස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Facebook
Twitter
LinkedIn