රටට හමුදාපති වරයෙකු නොමැතිව දවසක් ගතවෙයි

රටට හමුදාපති වරයෙකු නොමැතිව දවසක් ගතවෙයි

රට බරපතල ආරක්ෂක තර්ජන පවතින මේ මොහොතේ මයිත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීම් විරහිත නොසැලකිලිමත් කම නිසා නව හමුදාපති වරයෙකු පත්කිරීම පමාවීමෙන් දවසක් හමුදාපතිවරයෙකු නොමැති තත්වයක් මතුවූ බව ආරක්ෂක අංශ වාර්තා කරයි.

හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ධූර කාලය අගෝස්තු 18 ඉරිදා දිනෙන් අවසන් විය. ඒ අනුව සඳුදා වනවිට නව හමුදාපති වරයෙකු පත්විය යුතුව තිබුණි. ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටෙගොඩ සඳුදා ජනාධිපති සිරිසේන පොළොන්නරුවේ සිට පැමිණෙන තුරු බලා සිටියේ නව හමුදාපති පිළිබඳව තීරණයක් ගැනීමට ය. එහෙත් සඳුදා (19) සවස් වන තුරුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා පැමිණියේ නැත. ආරක්ෂක ලේකම්වරයා, ජනාධිපතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ත වූ අතර ජනාධිපතිවරයා පොළොන්නරුවේ විවිධ වැඩසටහන්වලට සහභාගී වෙමින් සිටියේය.

හිටපු හමුදාපති මහේෂ් සේනානායක සහ මාණ්ඩලික ප්‍රධානී සහ නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ද සිටියේ දෙගිඩියාවෙනි. මහේෂ් සේනානායකට තවත් සේවා දිගුවක් ලබා දේවී යන දෙගිඩියාවෙන් ශවේන්ද්‍ර සිල්වා සිටි අතර නව හමුදාපතිවරයෙකු පත් කළහොත් නිල වශයෙන් ඔහුට වැඩ බාර දී නික්ම යාමේ වගකීමක් මහේෂ් සේනානායකට තිබුණි. හමුදාවේ විවිධ රෙජිමේන්තු හා අංශවලින් සමුගැනීමේ සම්ප්‍රදායන්ද ඔහු අනුගමනය කළ යුතුව පැවතියේ ය. ශවේන්ද සිල්වාද තමා පත්කළේද යන්න සොයා බැලීමට ජනාධිපති නිවසට ගොස් විපරම් කර ඇති අතර සඳුදා අවසන් වනතුරුත් එවැනි පත්කිරීමක් පිළිබඳව තීරණයක් ගෙන තිබී නැත.

ජනාධිපතිවරයාට මෙම වැදගත්ම රාජකාරිය වන හමුදාපති පත්කිරීම සඳහා වෙලාවක් ලැබුනේ සඳුදා රාත්‍රියේ ය. තවත් විවාදාත්මක කටයුත්තක් සමගය. එනම් මහේෂ් සේනානායකත් ශවේන්ද්‍ර සිල්වාත් දෙදෙනාම ජනරාල් තනතුරු සඳහා උසස් කරමින් 23 වන හමුදාපති ලෙස ශවේන්ද සිල්වා පත් කළේය.

ආරක්ෂක විශ්ලේෂකයින් පවසන්නේ මෙමගින් නැවතවරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටේ ජාතික ආරක්ෂාව පිලිබඳව ඔහු දක්වන නොසැලකිලිමත්කම සහ වගකීම් විරහිතභාවය ප්‍රදර්ශනය කර ඇති බවයි.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පැවසුවේ ජනාධිපතිවරයාට වැදගත් ආරක්ෂක කරුණු දැනුම්දීම සහ තීරණගැනීම සඳහා ඔහුට දින ගණනක් ලිපිගොනු සමග ජනාධිපතිගෙන් වෙලාවක් ලබාගැනීමට බලා සිටීමට සිදු වූ බවයි. නව ආරක්ෂක ලේකම්වරයාද එම කනගාටුදායක අත්දැකීමට දැන් මුහුණ දෙමින් සිටින බව පෙනේ.

Facebook
Twitter
LinkedIn