අපනයන ආදායමෙන් 35%ක්, දළ දේශීය ආදායමෙන් 7%ක් උපයන ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන්ට තවමත් ඡන්ද අයිතිය නැහැ

අපනයන ආදායමෙන් 35%ක්, දළ දේශීය ආදායමෙන් 7%ක් උපයන ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන්ට තවමත් ඡන්ද අයිතිය නැහැ

මෙරට අපනයන ආදායමෙන් 35%ක් සහ දළ දේශීය ආදායමෙන් 7%ක් උපයන විදෙස්ගත ශ්‍රමිකයන් හට ඡන්ද අයිතිය හිමි නොවීම ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව එතෙර අපි සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගිය 21 වනදා කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී කියා සිටියේ ය.

එතෙර අපි සංවිධානය ආණ්ඩුවට දිගින් දිගටම යෝජනා ඉදිරිපත් කරමින්, විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙරට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය ලබා ගැනීමට බලපෑම් කරමින් සිටින අතර එහි එක් ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවේ තේරීම් කාරකසභාවක්ද පත් කර ඇත.

දැනට රටවල් 115ක් තම රටේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ලබා දීමේ අවස්ථා ලබා දී ඇතැයි ප්‍රකාශ කළ එතෙර අපි සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් ලක්ෂ 21ක පිරිසක් අවුරුදු 18 සැපිරූ අය බවද සඳහන් කළේ ය.

තානාපත් කාර්යාල තුළ ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වීම, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම, අන්තර්ජාල මගින් ඡන්ද ප්‍රකාශ කිරීම ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරන බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

විදේස්ගත ශ්‍රමිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට මැතිවරණ කොමිසම එකඟ වී ඇති බවද කී මන්ත්‍රීවරයා මෙරටට පැමිණි දා පටන් සියලු බදුවලට යටත් වන පුරවැසියන් හට ඡන්ද අයිතිය අහිමි වීම හරහා ඔවුන් අවලංගු කාසි තත්වයට පත්වි ඇතැයිද සඳහන් කළේ ය.

මෙහිදී එතෙර අපි සංවිධානයේ කටාර් ශාඛාවේ සභාපති අරුණ රුවන්කුමාර මහතාද අදහස් පළ කළේ ය.

Facebook
Twitter
LinkedIn