ජොන්ස්ටන්ගේ පෙත්සම 18 යළි කැඳවයි

පසුගිය රාජපක්ෂ පාලන සමයේ සතොස ආයතනයේ සේවකයන් 153 දෙනෙකු අදාල රාජකාරිවලින් බැහැර කර දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකර ඇති බවට හිටපු හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණය ගෙන ඇති තීරණය නීති විරෝධී ලෙස ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම තහවුරු කිරීමට සැප්තැම්බර් මස 18 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි කොළඹ මහාධිකරණ විනිසුුරු ආදිත්‍ය පටබැඳි මහතා අද(22) නියෝග කළේය.

විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාල පෙත්සම ලබන 18 වැනිදා යළි කැඳවන බවය.

2010 සහ 2014 යන වසරවලට අදාල කාලසීමාව තුළ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 04ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.

එම නඩුව ගොනුකර ඇති ආකාරය නීති විරෝධී බවත් ඊට එරෙහිව විරෝධතා ඉදිරිපත් කළ ද ඒවා ප්‍රතික්ෂේප කර නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇති බවත් පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියි.

එසේම පෙත්සම්කරු වැඩිදුරටත් පවසා ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙසත් අදාල චෝදනාවලින් තමා නිදොස් කොට නිදහස් කරන ලෙසත් ය.

Facebook
Twitter
LinkedIn