කළගෙඩිහේන ප්‍රදේශයේ මහ මගදී වෑන් රථයකට පහරදුන් ගණිත දේශකයා ඇතුළු සැකකරුවන් 8 දෙනා අද(08) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය 29 වැනිදා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළේ ය.
මාර්ගයේ ඉඩ ලබා නොදුන් බව පවසමින් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි සැකකරුවන් වෑන් රථයකට සහ එහි රියදුරුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර පසුව සිදුකළ පොලිස් විමර්ශනවලදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
අනතුරුව ඔවුන් පසුගිය 29 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අතර එදින ගණිත දේශකයා ඇතුළු සෙසු සැකකරුවන් අධිකරණයට බාර විය. එලෙස අධිකරණයට බාර වූයේ අවුරුදු 38 ක් වු ගණිත දේශක දිනේෂ් රුවන් අමරතුංග නැමති ප්‍රාඩෝ රථයේ හිමිකරු, උදම් ඉන්දුල ශ්‍රී සම්පත් නැමති වයස අවුරුදු 38 ක් වු ඩිෆෙන්ඩර් රථයේ අයිතිකරු, වයස අවුරුදු 45 ක් වු එම වාහනයේ ගමන් කර ඇති චාමර දිලුම් කුමාර නැමති පුද්ගලයෙක් හා සහන් අකලංක නැමති වයස අවුරුදු 24 ක් වු ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.










