රතු වරෙන්තු නිකුත් කර ඇති උදයංග වීරතුංග ගෝඨාගේ එළිය සම්මන්ත්‍රණයට එක්වෙයි

රතු වරෙන්තු නිකුත් කර ඇති උදයංග වීරතුංග ගෝඨාගේ එළිය සම්මන්ත්‍රණයට එක්වෙයි

මිග් යානා වංචාව සම්බන්ධව චෝදනා ලැබ ශ්‍රී ලංකා අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කර සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පතා සිදුකරන එළිය සම්මන්ත්‍රණයේ ඩුබායිහි පැවති සම්මන්ත්‍රණයට එක්ව තිබේ.

2006 වසරේදී යුක්රේනයේ අවි ආයුධ සැපයුම් සමාගමකින් මිග් 27 ප්‍රහාරක ජෙට් යානා 4ක් මිලදී ගැනීමේ දී ඇමරිකානු ඩොලර් මිලියන 7ක වංචාවක් සිදුකිරීම සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ උදයංග වීරතුංග නැමැත්තාට මෙරට අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කර ඇත.

ඩුබායිහි පැවති එළිය වැඩසටහන සඳහා මැදගොඩ අභයතිස්ස හිමි, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසක් එක්ව ඇත.

රතු වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකු වන උදයංග වීරතුංග නැමැත්තා ජනාධිපතිවරණ වේදිකාවේ කතාබහට ලක්වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහය වැඩසටහනකට සම්බන්ධවී සිටීම සම්බන්ධව මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්විය. මිග් ගනුදෙනුවේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා අත්‍යාවශවන උදයංග වීරතුංග නැමත්තා ඩුබායිහි ඉතා නිදහස්ව කටයුතු කරන අයුරු දැක්වෙන වීඩියෝ පට ද මාධ්‍ය ඔස්සේ විකාශනය විය.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙකුගේ හදිසි මරණය සම්බන්ධව ද සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා උදයංග වීරතුංග අත්‍යාවශ්‍යව සිටියි.

 

Facebook
Twitter
LinkedIn