සුළු අපනයන බෝග වගාකරුවන්ගේ ගැටළු වහා විසඳනු! – ඉදිරියේදී රට පුරා විරෝධතා

සුළු අපනයන බෝග වගාකරුවන්ගේ ගැටළු වහා විසඳනු! – ඉදිරියේදී රට පුරා විරෝධතා

බලධාරීන් දිගින් දිගටම මග හරමින් සිටින සුළු අපනයන බෝග වගා කරන ගොවීන්ගේ ගැටළු විසඳන ලෙස බලකරමින්, දිවයින පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

කුරුඳු, ගම්මිරිස්, ගොරකා, කරුංකා ජාවරමකරුවන්ට වැට බඳිනු, සුළු අපනයන බෝග  සදහා සාධාරණ මිලක් ලබාදෙනු! යන මැයෙන් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අද (04 )දඹුල්ල, අතුපරයාය ප්‍රදේශයේ පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී නමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ දේශීය සුළු අපනයන බෝග වගාකරන ගොවියාගේ ගැටළු විසදන ලෙස බලකෙරෙන උද්ඝෝෂණ මාලාවක් දිවයින පුරා සංවිධානය කර ඇති බවත් එහි පලමුවැන්න ලබන 06 දින දෙයියන්දරදී ආරම්භ කරන බවත් ය. පසුව රත්නපුර, හම්බන්තොට, ගාල්ල, කළුතර, මහනුවර, මාතලේ යන නගරයන්හි මෙම ගොවි විරෝධතා සංවිධානය කර ඇති බවත් ය. එම විරෝධතාවයන්ට ද පිළිතුරු නොදෙන්නේ නම් සුළු අපනයන බෝග වගාකරන ගොවින් සමග කොළඹට රැස්කර විෂයභාර අමාත්‍යංශය වටලා දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරන බව ද නමල් කරුණාරත්න මහතා පැවසිය.

විෂයභාර අමාත්‍ය දයා ගමගේ මහතා සමග ගොවීන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කලත් මෙතෙක් සාධනීය විසදුම් ලබාදීමට අමාත්‍යවරයා අපොහොසත්වී ඇති බවත් මෙම ක්ෂේත්‍රයේ දැවැන්ත මාෆියාවක්, ව්‍යාපාරිකයින් හා දේශපාලඥන් සම්බන්ධවී කරගෙන යන බවත් අවධාරණය කළේය.

මෙම ජාවාරම් හේතුවෙන් සුළු අපනයන බෝග සදහා ශ්‍රී ලංකාවට තිබු කීර්ති නාමයට බරපතල හානියක් සිදුව ඇති බව අවධාරණය කළ ඒ මහතා මේ තත්වය තුල දේශීය සුළු අපනයන බෝග වර්ග රැසක මිල පහත වැටි ගොවින් අසරණවී සිටින බවද කියා සිටියේ ය.

නිදහස් වෙළඳ ගිවිසුම්වල වාසිය ප්‍රයෝජනයට ගනිමින්  මිල අඩු ගුණාත්මක තත්වයෙන් අඩු සුළු අපනයනය බෝග  වර්ග විදෙස් රටවලින් ගෙන්වා මෙරට සුළු අපනයන බෝග සමග මිශ්‍ර කර ප්‍රතිඅපනයනය කිරීමෙන් මෙම ජවරම්කරුවන් විශාල ලාභ ලබන බවත් මෙම දැවැන්ත ජාවාරම පිටුපස වත්මන් ආණ්ඩුවේ දේශපාලඥන් සිටින බවත් පැවසිය.

මේ වනවිට කුරුඳු කිලෝව රුපියල් 2200 සිට රුපියල් 1300 දක්වාද,ගම්මිරිස් කිලෝව 1800 සිට 400 ක් දක්වා අඩුවී ඇති බවද නාමල් කරුණාරත්න මහතා පැවසිය.

Facebook
Twitter
LinkedIn