නීතිපතිගේ පෙත්සමට එරෙහිව පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම්ගේ විරෝධතා ඉවතට

නීතිපතිගේ පෙත්සමට එරෙහිව පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම්ගේ විරෝධතා ඉවතට

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ලවී ඇති හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර යන අයට ඇප නියම කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධව විත්තිකරුවන් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් අද(01) ප්‍රතික්ෂේප කර තිබේ.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වලක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් විත්තිකරුවන් සිය රාජකාරිමය වගකීම් සාපරාධී පැහැරහැරීමට ලක්කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය විය. ඒ අනුව දණ්ඩනීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ සැකකරුවන්ට එරෙහිව මිනී මැරුම් චෝදනා එල්ල වී ඇති අවස්ථාවක එය බැහැර කරමින් මහේස්ත්‍රාත්වරිය ඇප නියම කර ඇති බව විනිසුරු විකුම් කළුආරච්චි මහතා පවසා තිබේ.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශිත මෙම ඇප නියෝගය හරහා නීතියේ අපගමනයක් සිදුවීමට බරපතළ ලෙස ඉඩකඩ පවතින හෙයින් එය සුවිශේෂී කරුණක් සේ සැලකිය හැකි හෙයින් විත්තිය විසින් ඉදිරිපත් කරන මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට පෙත්සම් විභාග කිරීම සඳහා අවසර දෙන බවද මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිය නියෝගයෙන් සඳහන් කර සිටියේය.

ඒ අනුව පෙත්සමට අදාල විරෝධතා තිබේනම් ඒවා අගෝස්තුමස 30 දාට පෙර ඉදිරිපත් කරන ලෙසත් පෙත්සම් විභාගය සැප්තැම්බර් 6 වනදා සිදු කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

Facebook
Twitter
LinkedIn