ජාතික ජන බලවේගය මැතිවරණ ඉලක්ක කරගෙන පිහිටවූවක් නොවන බවත් එය සමස්ත අරගලයේ එක් ආකාරයක් බවත් විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයේ වසන්ත දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ අද(30) ජාතික ජන බලවේගය ප්‍රථමවරට කැඳවා තිබූ මාධ්‍ය හමුව අමතමිනි.
සියළු ජනකොටස් අතර ක්‍රියාකාරී, බහුජන සංවිධාන කේන්ද්‍රකර ගත් මෙවැනි පන්නයේ ජනතා බලවේගයකට හැර වෙනත් කිසිවෙකුට මේ රට පවතින තත්වයෙන් ගොඩගත නොහැකි බවත් මෙය රටේ ආර්ථිකයට ද උත්තර සැපයිය හැකි ව්‍යාපාරය බවත් විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයේ වසන්ත දිසානායක මහතා වැඩිදුරත් පැවසීය.
වසන්ත දිසානායක මහතා දැක්වූ අදහස්…
“පක්ෂ සහ සංවිධාන ගණනාවක් ඒකාබද්ධ වෙලා ජාතික ජන බලවේගය ව්‍යාපාරය ගොඩනැගුවේ ඇයි කියලා අවධාරණය කිරීම මේ මොහොතේදී අවශ්‍යයි. මේ ව්‍යාපාරය ගොඩනගා අවසන්වන එකක් නොවෙයි. මේ ආරම්භයක් පමණයි. මේ ව්‍යාපාරයට එකතුවිය යුතු තවත් සංවිධාන, බලවේග, සඳහා සියලු ඉඩකඩ විවෘතව තියෙනවා. අපේ රටේ ඉතිහාසයේ විවිධ සංවිධාන, එක්සත් පෙරමුණ, ගොඩනැගිල තියෙන්නේ මැතිවරණ ඉලක්ක කරගෙනයි. හැබැයි මේ ව්‍යාපාරය මැතිවරණ කේන්ද්‍රීය කරගත්ත එකක් නොවෙයි. මැතිවරණ කේන්ද්‍රීය සංවිධාන කිසියම් මැතිවරණයකින් පස්සේ කැඩිල, බිඳිල අභාවයට ගියා. ජාතික ජන බලවේගය සංවිධානය මැතිවරණ මඟහැර යන්නේ නැහැ. ඉදිරියේදී එළඹෙන සෑම මැතිවරණයකටම මැදිහත් වෙනවා. නමුත් එය අපේ සමස්ත අරගලයේ එක් ආකාරයක් විතරයි.
මේ බලවේගය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් අතර ක්‍රියාකාරී වෙමින් වාමාංශික ප්රගතිශීලී අදහස් ගෙනියනවා. වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන, කාන්තා සංවිධාන, පරිසර සංවිධාන, වෘත්තීයවේදීන්ගේ සංවිධාන, ආදී වශයෙන් ක්‍රියාත්මක සියලු බහුජන සංවිධාන මේ ව්‍යාපාරය තුළට කේන්ද්‍ර ගතකර ගන්නවා. බිමේ වැඩකරන සියලු ජනයා එකතුකර ගත් ජනසභා ස්වරූපයේ බලවේගයක් විදිහට ගොඩනැගීම අපේ අරමුණයි. කුමන ආණ්ඩුවක් බලයට පත්වුණත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙන සංවිධිත, දැනුවත් බලවේගයක් හැටියට ක්‍රියාත්මක වීම අපේ අරමුණයි. මේ විදිහේ ව්‍යාපාරයකින් තොරව අද පවතින කිසිම ආර්ථිකයකට උත්තර හොයන්න බැහැ.”










