උතුරුමැද හිටපු මන්ත්‍රීගේ අක්කර 40ක ඉඩම ගැන සාක්ෂි වාර්තා කැඳවයි

උතුරුමැද හිටපු මන්ත්‍රීගේ අක්කර 40ක ඉඩම ගැන සාක්ෂි වාර්තා කැඳවයි

කර්මාන්ත හා වාණීජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොහොයුරා වූ උතුරු මැද පළාත් පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන් මහතා විසින් රුපියල් ලක්ෂ 240ක් වටිනා මන්නාරම තෙලෙයිමන්නාරමේ පිහිටි අක්කර 40ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කරගෙන ඇතැයි කියන සිද්ධියකට අදාළ සාක්ෂිකරුවන්ගේ සම්පිණ්ඩන වාර්තාවක් ලබන අගෝස්තු 22 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) නියෝග කර තිබේ.

ඒ මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී ය.

මෙම සිද්ධියේ රිෆ්ඛාන් බදියුදීන් මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සදහන් කර ඇත්තේ තම සේවාදායකයා මෙම සිද්ධියේ  අගතියට පත්වී ඇති බැවින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසය.

මෙම සිද්ධියේ අගතියට පත්වී ඇත්තේ මුල් පැමිණීලිකරු විනා එම ඉඩමට බලෙන් ඇතුළු වූ රිෆ්ඛාන් බදියුදීන් නැමැත්තා නොවන බැවින් අගතියට පත් පාර්ශවය ලෙස සළකන ලෙස කරන ලද ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන බව මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය සිය නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර ඇත.

එසේම, මේ වන තෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් නොකළේ මන්දැයි අද මහෙස්ත‍්‍රාත්වරිය ප්‍රශ්න කර තිබේ.

මෙම සිද්ධියට අදාළ රිෆ්කාන් බදුර්දීන් සම්බන්ධයෙන් මන්නාරම ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයෙන් වාර්තා කැඳවූ බවත් එහිදී ඉඩම් 23කට අදාළ තොරතුරු වාර්තා වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

Facebook
Twitter
LinkedIn