(දෙවන සංස්කරණය) ජනතා විමුක්ති පෙරමුණ විසින් අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ සමස්ත ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංගය යුක්ති යුක්ත නොවන්නේ කෙසේදැයි එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියි.
අනුර දිසානායක මහතා මේ බව පවසා සිටියේ මේ වනවිටත් බත්තරමුල්ල, පැළවත්ත හි පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.
නිස්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදී ආණ්ඩුව විසින් ඔවුන්ගේ වගකීම් සාපරාධී පැහැරහැරීමකට ලක්කර ඇති බව මේ වනවිට අනාවරණය වී අවසන් බව ඒ මහතා පෙන්වා දෙයි. එම පැහැරහැරීමෙන් ජීවිත 258කට අධික සංඛ්‍යාවක් අහිමිවූ බවත් තුවාලකරුවන් 500කට වැඩි පිරිසක් සහ විශාල දේපල හානියක් සිදුවූ බවත් අනුර දිසානායක මහතා පැවසීය.
එබැවින් මෙවැනි ආණ්ඩුවකට දඬුවම්දීම යුක්ති යුක්ත නොවන්නේ මන්දැයි අනුර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියි.
එසේම විවිධ පක්ෂ, කණ්ඩායම් සහ ඇතැම් මාධ්‍ය සිය වගකීම ඉටු නොකර විශ්වාසභංගය සම්බන්ධ විවිධ න්‍යාය පත්‍ර ඔස්සේ වැඩ කළ ද ජනතා විමුක්ති පෙරමුණ රට වෙනුවෙන් සිය වගකීම පැහැර නොහැරිය බව අනුර දිසානායක මහතා පැවසීය.
අද (12) පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා…
“පසුගිය අප්‍රේල් 21වැනිදා ප්‍රහාරය පිළිබඳව සම්පූර්ණ බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ආණ්ඩුව අසමත් වුණා. ප්‍රහාරය එල්ල වුන 21වැනි දින උදේ 7ටත් කතෝලික පූජනීය ස්ථානවලට ප්‍රහාරය එල්ල වන බව බුද්ධි අංශ විසින් ප්‍රකාශ කොට තිබුණා. 250කට අධික පිරිසක් ඝාතනය වූ, 500කට ආසන්න පිරිසක් තුවාළ ලැබූ, කතෝලික පූජනීය ස්ථාන විනාශ වූ, සංචාරක කර්මාන්තය බරපතළ ප්‍රහාරයක් එල්ල වුණු, සිංහල, මුස්ලිම් ජනයා අතර ක්‍රෝධයක්, වෛරයක් ඇතිකළ, රට අරාජික කළ එම ප්‍රහාරයට ආණ්ඩුව වගකිව යුතු නැද්ද? ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනා විශ්වාසභංගය පිළිබඳ විවිධ අර්ථකතන දෙන අයගෙන් අපි අහන්න කැමතියි, ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේනවා වෙනුවට මේ වෙලාවේ ගත යුතු කි‍්‍රයාමාර්ගය මොකක්ද කියලා? ආණ්ඩුවට එරෙහිව අපේ රටේ දේශපාලන පක්ෂ, පුරවැසියෝ වගේම මාධ්‍ය ආයතන ක්‍රියාකළ යුතු නැද්ද? දේශපාලන පක්ෂයක් ලෙස අපිට ඒ සම්බන්ධයෙන් වගකීමක් තිබෙන නිසා තමයි ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ. එහි ඇති වැරැද්ද කුමක්ද?
විශ්වාසභංගයේ විශේෂ කරුණක් ලෙස අපි සඳහන් කර තිබෙනවා, අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුව වෙත නිල වශයෙන් නිසි තොරතුරු ලැබී තිබියදී සාපරාදී නොසැලකිල්ලෙන් කටයුතු කළා කියලා. ඒක තමයි අපේ චෝදනාව. ඒ චෝදනාව වැරදිද? පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස ආණ්ඩුවට එරෙහිව ගත හැකි එක් පියවරක් තමයි විශ්වාසභංගය කියන්නේ. අපි ඉතාමත් වගකීමෙන් මියගිය 258 දෙනාටත් තුවාළ ලැබූවන්ටත් විනාශ වූ දේපළ පිළිබඳව සාධාරණයටක් ඉටුකිරීම වෙනුවෙන් තමයි මෙම විශ්වාසභංගය ගෙනාවේ. ඇතැම් දේශපාලන කණ්ඩායම්වලට තමන්ගේ දේශපාලන වුවමනාවන්ට අපේ විශ්වාසභංගය බාධාවක් වෙන්න පුළුවන්. ඒවගේම ඇතැම් මාධ්‍ය ආයතනවලටත් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට ජවිපෙ විශ්වාසභංගය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් අපිට ඒක අදාල නැහැ. අපේ විශ්වාසභංගයට අවලාද ගහන, විවිධ අර්ථකථන සපයන අයගෙන් අපි අහන්නේ මේ විශ්වාසභංගය යුක්තිසහගත නොවන්නේ කොහොමද කියලා?
මේ විශ්වාසභංගයට මුල් අවස්ථාවේ අවලාද ගහපු අයටත් අවසානයේ ඡන්දය දෙන්න වුණා. මේක කුමන්ත්‍රණයක් නම් ඇයි ඔවුන් ඡන්දය දුන්නේ? මේ විශ්වාසභංගයට ඡන්දය නොදී ඉන්නට ඔවුන්ට බැරිවුණා. ගලේ පහරපු බළලුන් වගේ අවලාද ගහපු අයත් අන්තිමේදී ඡන්දය දුන්නා. නමුත් අපි අවධාරණය කරන්න කැමතියි විපක්ෂ නායකතුමා මුල් අවස්ථාවේදීම විශ්වාසභංගයට ඡන්දය දෙන බව පැවසුවා. ඒ වෙනුවෙන් ඔහුට ස්තුතියි. ආණ්ඩු පක්ෂයේ මන්ත්රීරවරු 106ක් ඉන්නවා. ඊයේ හිටියේ 105යි. විපක්ෂයට මන්ත්‍රීවරුන් 118ක් ඉන්නවා. එයින් 97කට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂයි. ඒ සියලු දෙනා මහින්ද රාජපක්ෂගේ කුමන්ත්‍රණ ආණ්ඩුවට සහාය දුන් අයයි. ඔක්තෝබර් 26 ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ සහාය දුන් මන්ත්‍රීවරු ඒ 97 අතරේ ඉන්නවා. ඒ 97 දෙනාගෙන් ඡන්දය දෙන්න මහින්ද කීයක් කැඳෙව්වද? 11ක් ආවේ නැහැ.
ඒ වගේම අපි රනිල්ගෙන් සහ මහින්දගෙන් දැනගන්න කැමතියි, 11වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටි පාර්ලිමේන්තුවේ දෙවැනි මහලේ කාමරයක 12.10ත් 12.30ත් අතර සාකච්ඡා කළේ මොනවද? රාජපක්ෂට ඡන්දය ලබාදුන් ඡන්ද කායකනුත් රනිල්ට ඡන්දය ලබාදුන් එජාප පාක්ෂිකයිනුත් අනෙකුත් ජනතාවත් ඔවුන් සාකච්ඡා කළේ මොනවද කියලා දැනගැනීමේ අයිතියක් තිබෙනවා. අපිට සැකයක් තිබෙනවා, එම සාකච්ඡාව අනුවද විශ්වාසභංගය පරාජයට පත්වුණේ කියලා. අපි වගකීමෙන් කියනවා, එජාපයෙන් මහින්ද ළගට ආපු මන්ත්‍රීවරුන්ට ඡන්දය ලබාදෙන්න එපා කියලා මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කොට තිබෙනවා. ඡන්දය දෙන්න නොපැමිණි පිරිස අතර උදය ගම්මන්පිල, චන්ද්‍රසිරි ගජධීර, එස්.සී. මුතුකුමාරණ, විජයදාස රාජපක්ෂ, අසෝක ප්‍රියන්ත, දිනේෂ් ගංකන්ද, එස්.බී. නාවින්න, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, මොහාන් ලාල් ග්‍රේරු, ඩග්ලස් දේවානන්ද යන 11 දෙනා පිළිබඳව මහින්දට වගකීමක් නැද්ද?
ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉතා වැදගත්ම විවාදයන් ලෙස සැලකෙන්නේ විශ්වාසභංග හා අයවැය විවාදයි. එවැනි ඉතාම වැදගත්කමක් ඇති විශ්වාසභංගයක් වෙලාවේ විපක්ෂනායකවරයා ලෙස රාජපක්ෂ මහතා අදහස් ප්‍රකාශ නොකළේ ඇයි. විපක්ෂනායකවරයාට අනුව පාස්කු ප්‍රහාරයට ආණ්ඩුව වගකිව යුතු නැද්ද? ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වුණු විශ්වාසභංගයකදී අදහස් ප්‍රකාශ නොකළ විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ ඉතිහාසගත වෙනවා. ඞීල් තිබෙන්නේ රනිල් මහින්දලා අතර බව ඉතා හොඳට පැහැදිළි වෙනවා.
ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ 14ක් ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ඔවුන්ට ස්වාධීන තීරණ ගැනීමට ඇති අයිතිය අපි පිළිගන්නවා. නමුත් ඔවුන් ආණ්ඩුවට සහයෝගය පළ කළේ රනිල් වික්‍රමසිංහගේ කප්පම්වලට අනුවයි. ඡන්දය දෙන දිනයේ ප.ව. 4.30 වන තෙක් ඡන්දය දෙනවද නැද්ද කියලා දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබුණේ නැහැ. දෙමළ ජාතික සන්ධානය අවසාන තීන්දුවට පැමිණියේ රනිල් වික්‍රමසිංහ විසින් කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලබාදීමේ ලිඛිත එකඟතාවය මතයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය කලමනාකරණ දෙපාර්තමේන්තුව විසින් පැය බාගයක් ඇතුළත කල්මුලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට කාඩර් එකක් වෙන්කොට දුන්නා. කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙන්කර ගැනීම සඳහා සාධාරණ අරගලයක් තිබුණු අතර අපිත් එයට සහයෝගය ලබාදුන්නා. නමුත් මෙවැනි ජාතික අපරාධයක් සිදුවී තිබියදී එය උපයෝගී කොටගෙන දෙමළ ජාතික සන්ධානය මෙම ඉල්ලීම ලබාගැනීමට කටයුතු කිරීම ගැන අපගේ බරපතළ විවේචනයක් තිබෙනවා. ඒ වගේම කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලබාගැනීමට අරගලයක් උපවාසයක් තිබියදී ඒ ගැන කිසිදු අවධානයක් නොමැතිව හිටපු අගමැතිවරයා තමන්ගේ ආණ්ඩුවට අර්බුදයට ගිය වෙලාවේ පැය බාගයක් ඇතුළත ඉල්ලීම ලබාදුන්නේ බල කෑදරකමට මිස දෙමළ ජනයා පිළිබඳ සැබෑ හැඟීමකින් නොවෙයි.
එම නිසා මහින්ද රාජපක්ෂගේ මන්ත්‍රීවරු 11දෙනාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විශ්වාසභංගයට සහාය දුන්නා නම් මේක ජයග්‍රහණය කරන්න ඉඩ තිබුණා. දැන් බොහෝ අය කියන පරිදි පරාජයට පත්වෙලා තිබෙන්නේ මේ විශ්වාසභංගය විතරද? 1949 ඉඳලා ආණ්ඩුවලට එරෙහිව ගෙනා විශ්වාසභංග 25න් එක් විශ්වාසභංගයක් පමණයි ජයග්‍රහණය කොට තිබෙන්නේ. එයත් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ ඔක්තෝබර් 26 කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවයි. ඊට පෙර 2018 අප්‍රේල් 04වැනිදා ආණ්ඩුවට එරෙහිව මහින්ද රාපක්ෂලා විසින් විශ්වාසභංගයක් ගෙනාවා. ඒ විශ්වාසභංගයට ඡන්ද තිබුණේ 76යි. ආණ්ඩුවට 122ක් තිබුණා. අපේ විශ්වාසභංගයට ඡන්ද 92ක් තිබුණා. ආණ්ඩුවට 119යි. ජවිපෙට අවලාද ගහන අය කියන ආකාරයට මේක රනිල්ට ඔක්සිජන්දීමක් නම් තිරිහන් කිරීමක් නම් මහින්ද රාපක්ෂලා 2018 අප්‍රේල් මාසයේ ගෙනාපු විශ්වාසභංගය රනිල් වික්‍රමසිංහ තිරිහන් ඩබල් කිරීමක් නොවේද? ඒ වගේම මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ විසින් තිලක් මාරපන ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවා. එය විවාදයට ගන්න කලින් තිලක් මාරපන ඉල්ලා අස්වුණා. ඒක ජයග්‍රහණයක් නොවෙයිද? එ්නිසා ඕනෑම විශ්වාසභංගයක් සමහර වෙලාවට දින්නන පුළුවන් අතර පරදින්නත් පුළුවන්කම තිබෙනවා. නමුත් අපේ රටේ ඇතැම් මාධ්‍ය ආයතන මහින්ද රාජපක්ෂ පරදින විට එක විදිහකටත් ජවිපෙ පරදින විට තව විදිහටකටත් වාර්තා කරනවා. ඒ ඔවුන්ගේ දේශපාලන වුවමනාව මතයි.
හර්ෂද සිල්වා ඇමතිවරයා අදහස් දක්වමින් කිව්වා, මේ විශ්වාසභංගය ආණ්ඩුව ජයග්‍රහනය කළත් ආණ්ඩුවට එල්ලවෙලා තිබෙන චෝදනාවලින් ගැලවෙන්න බැහැ කියලා. ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් කිව්වා, තමන්ගේ හෘදසාක්ෂියට අනුව මේ විශ්වාසභංගයට ඡන්දය ලබාදිය යුතු වුවත් ආණ්ඩුව පරදින නිසා ඡන්දය ලබාදෙන්නේ නැහැ කියලා. ඒ වගේම මුලදී විශ්වාසභංගයට බැනවදිමින් හිටපු අය පාර්ලිමේන්තුවේ කෙඳිරිගාමින් විශ්වාසභංගයට ඡුන්දය ලබාදීමට පවා මෙම විශ්වාවාසභංගය ප්‍රබල එකක් වුණා. මේ විශ්වාසභංගයට ඡන්දය නොදුන් මහින්ද රාජපක්ෂගේ මන්ත්රීරවරු 11 දෙනාට කියන්න පුළුවන්ද පාස්කු ප්‍රහාරයට ආණ්ඩුව වගකිව යුතු නැහැ කියලා? එනිසා මෙය ජවිපෙ පරාජයක් නොවෙයි. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණු 258කගේ ජීවිතවලට මේ ආණ්ඩුව වගකිව යුතු නැද්ද?
21දා ප්‍රහාරයෙන් මියගිය ජනතාවටත් තුවාළ ලැබූ සියලු දෙනාටත් ඉටුකළ හැකි උපරිම සාධාරණය ඉටු කරන්න ජවිපෙ මන්ත්‍රීවරුන් හය දෙනා කටුයතු කළා. 258දෙනෙක් මැරෙන්න ඉඩ හැරපු පාලකයෝ තව දුරටත් මේ රට පාලනය කළ යුතුද? අපි ජනතාවට කියනවා, ඔබලා ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවක් හදලා දෙන්න අපි මේ මියගිය අයටත් තුවාළ ලැබූ අයටත් දේපළ අහිමි වූවන්ටත් සහතික වශයෙන්ම සාධාරණය ඉටු කරනවා. ඉස්ලාම් අන්තවාදී අපරාධකාරයින් වන සහරාන්ලාටත් සියලු තොරතුරු තිබියදී ප්‍රහාරය වලක්වාගත නොහැකිවූ අපරාධකාරයින්ටත් දඬුවම් දෙන පාලනයක් අවශ්‍යයි. මෙම අපරාධය යට ගහන්න ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දෙන්නේ නැහැ. මේ කිසිවකට වගකිව යුතු නැති තමන්ගේ ආගම ඇදහීමට ගිය ජනතාවක් ඝාතනයට ලක්වුණා. තුවාළ ලැබුවා. රනිල් මහින්දගේ ඩීල්වලින් මාධ්‍ය ආයතනවල දේශපාලන වුවමනාවලින් ඒ මරණ යටකළ හැකිද? අප අතර අද දිනයේත් හුස්ම ගනිමින් ජීවත්විය යුතු විශාල පරිසක් ඝාතනය වුණා. එයට ආණ්ඩුව වගකිව යුතු නැද්ද? අපි මේ රටේ පුරවැසියන්ට සහතිකයක් දෙනවා, මියගිය සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් මෙම අපරාධකාරයින්ට දඬුවම් ලබාදීමේ කටයුත්ත ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉටු කරනවා කියලා. ඒක අමතක කරන්නේ නැහැ.”
මාධ්‍යවේදන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…
“බොහෝ අය එල්ල කරන ප්‍රසිද්ධ චෝදනාවක් වෙන්නේ විශ්වාසභංගයෙන් පස්සේ ආණ්ඩුව ස්ථාවර වුණා කියන එක. අපි ඒ සියලු දෙනාගෙන් අහන්න කැමතියි, විශ්වාසභංගයට පෙර ආණ්ඩුවේ අස්ථාවරභාවයත් විශ්වාසභංගයෙන් පසු ආණ්ඩුවේ ස්ථාවරභාවයත් රටට පැහැදිළි කරන්න කියලා. අපි ඉතාම වගකීමෙන් කියනවා, විශ්වාසභංගය නිසා ආණ්ඩුවට ලැබුණු අමතර ස්ථාවරභාවයක් නැහැ කියලා. ඊයෙත් ආන්ඩුවට 106යි. අදත් ආන්ඩුවට 106යි. විශ්වාසභංගයට පෙරත් ආණ්ඩුව ගෙනා සියලු නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. හැමදාමත් ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ සහායෙන් කටයුතු කොට තිබෙනවා. නමුත් එක වෙනසක් සිදුවුණා. මීට පෙර මෛත්‍රීපාල සිරිසේනට හිතවත් ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවට එරෙහිව ඡන්දය ලබා නොදුන්නත් අපි ගෙනාපු විශ්වාසභංගයට පක්ෂව ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ලබාදුන්නා.
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග ඉදිරිපත් වුණු හැම අවස්ථාවකදීම ඒවා ඉදිරිපත් වුණේ ආණඩුවේ බරපතල ක්‍රියාමාර්ග නිසයි. රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගය ගෙනාවේ මහබැංකු වංචාව නිසයි. නමුත් මහින්ද රාජපක්ෂලා ගෙනාපු විශ්වාසභංගයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරනවා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂට විවේචනයක් ගෙනාවේ නැහැ, රනිල් කහ වතුරෙන් නාවලා ගත්තා කියලා. එදත් මහින්ද රාජපක්ෂලාට හිටියේ මන්ත්‍රීවරු 70යි. ඡන්ද 76 වුණේ ජවිපෙ 06දෙනා එක්කයි. අද සිදුවෙලා තිබෙන්නේ බොහෝ කණ්ඩායම් මෙන්ම මාධ්‍ය ආයතනත් සිදුවීම් විග්රහ කරගන්නේ තමන් සිටින දේශපාලන ස්ථාවරය අනුවයි. නමුත් හෘදසාක්ෂියක් ඇති සියලුම දෙනා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව වගකිව යුතු බව කල්පනා කරනවා.
මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වුණේ දේශපාලන ප්‍රශ්නයක් මතයි. විමර්ශනවලට බාධා වන නිසා නොවෙයි. විමර්ශනවලට බාධා වෙනවා නම් අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත් මුලු ආණ්ඩුවමත් ඉල්ලා අස්විය යුතුයි. මොකද, මේ ආණ්ඩුවම ප්‍රහාරයට වගකිව යුතුයි. එක ඇමතිවරයෙක් පිළිබඳව විමර්ශණය කිරීමෙන් ඵලක් නැහැ. ඒ නිසා තමයි අපි මුළු ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි කියලා විශ්වාසභංගයක් ගෙනාවේ.
මේ විශ්වාසභංගය දිනන්න හොඳම අවස්ථාවක් තිබුණා. රාජපක්ෂගේ මන්ත්‍රීවරු 97යි, ජවිපෙ මන්ත්‍රීවරු 06යි, එකතු වුණාම 103යි. ආණ්ඩුවට හිටියේ 105යි. ඡන්ද දෙකයි වෙනස තිබුණේ. දෙමළ ජාතික සන්ධානය ඡන්දය ලබාදුන්නා නම් විශ්වාසභංගය දිනන්න අවස්ථාව තිබුණා. අපි මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තැබුවා. මොකද ඔහු නිතරම මෙම ආණ්ඩුව ගෙදර යැවීම සම්බන්ධයෙන් කතා කරන නිසා. නමුත් ඔහුට මන්ත්‍රීවරු 11ක් ඡන්දයට කැඳවන්න නොහැකි වුනා. දෙමළ ජාතික සන්ධානයෙන් අපි ඉල්ලීමක් කළා, විශ්වාසභංගයට සහාය ලබාදෙන්න කියලා. නමුත් ඔවුන් අවසන් මොහොතේ කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දිනා ගැනීම වෙනුවෙන් ආණ්ඩුවට ඡන්දය ලබාදුන්නා. ඒ සම්බන්ධයෙන් අපිට දැඩි විවේචනයක් තිබෙනවා.”










