පාස්කු ප්‍රහාරය වලක්වාගැනීම සම්න්ධව සිය රාජකාරිමය වගකීම් පැහැරහැරීම තුළින් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිය මූලික අයිතීන් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ලබන 25 දක්වා කල් තබා තිබේ.
මෙම කරුණ සම්බන්ධව ගොනුකර තිබෙන පෙත්සම් 12ක් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවා තිබූ අතර අධිකරණය හමුවේ පෙනී සිටිමින් නීතිපතිවරයා පවසා ඇත්තේ වගඋත්තරකාර පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් තමා පෙනී නොසිටින බවය.
එසේම පෙත්සම්වල දක්වා ඇති ඇතැම් වගඋත්තරකරුවන්ගේ විරෝධතා තමන්වෙත ලැබී ඇත්තේ ඊයේ(11) පෙරවරුවේ බවත් වගඋත්තරකාර පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අපරාධ චෝදනා යටතේ විමර්ශන ආරම්භකරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා ඇති කරුණ මේ වනවිටත් ඉටුවී ඇති බවත් නීතිපතිවරයා පවසා තිබේ.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් පසු සත්පුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කර සිටියේ පෙත්සම්වලට අදාලව විරෝධතා ඇත්නම් ඒවා ලබන 18 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසත් යම් ප්රතිවිරෝධතා ඇත්නම් ඒවා ලබන 23 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසත් ය.
අනතුරුව පෙත්සම යලි විභාගයට ගැනීම ලබන 25 සහ 26 දෙදින තුළ සිදුකෙරෙන බව අධිකරණය දැනුම් දුන්නේ ය.










