බැදුම්කර වංචාවේ සාක්ෂිකරුවන්ට මරණීය තර්ජන සිදුකල රවීගේ ඥාති ශනිල් ‌නෙත්තිකුමාරට ඇප

බැදුම්කර වංචාවේ සාක්ෂිකරුවන්ට මරණීය තර්ජන සිදුකල රවීගේ ඥාති ශනිල් ‌නෙත්තිකුමාරට ඇප

බැඳුම්කර වංචාවට අදාළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීම සහ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂිකා අනිකා විජේසූරිය මහත්මියගේ සහෝදරයාට තර්ජනය කර ඇති බවට චෝදනා ලැබ සිටින ශනිල් නෙත්තිකුමාර නැමැත්තා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(04) නියම කර තිබේ.

ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂිකා අනිකා විජේසූරියට අයත් කොළඹ ‘මොනාච්’ රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයේ නිවෙසක් කුලියට ගැනීම සඳහා හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු ඔහුගේ පවුලට, බැදුම්කර වංචාව සම්බන්ධ චෝදනා එල්ල වී ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් විසින් රුපියල් මිලියන 1.4ක මුදලක් ගෙවීම සහ ඒ සඳහා බදු වශයෙන් රුපියල් මිලියන 7.3ක මුදලක් අර්ජුන් ඇලෝසියස් යන අයට අයත් පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් නමැති ආයතනයෙන් ගෙවීම පිළිබඳ සිද්ධියකට අදාළව අනිකා විජේසූරිය යන අය ජනාධිපති බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දෙනු ලැබුවාය.

තම සහෝදරිය වන අනිකා විජේසූරිය යන අය සාක්ෂි දීම සම්බන්ධයෙන් විත්තිකරු වන ශානිල් නෙත්තිකුමාර යන අය විසින් තම ජංගම දුරකථනයට කතාකොට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධියේ පැමිණිලිකරු වන විජිත විජේසූරිය යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව ගොනුකර තිබිණි.

කෙසේ වෙතත් බැදුම්කර කොමිසම හමුවේ කරුණු හෙළි කළ අනිකා විජේසූරිය මහත්මියගේ සහෝදරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් වන අධිචෝදනා පත‍්‍රය මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකාර ශනිල් නොත්තිකුමාර මහතාට බාර දීමෙන් අනතුරුව ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් ඇප නියම කිරිම සිදුකර තිබේ.

ඒ් අනුව රුපියල් 50,000ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරිර ඇප දෙකක් මත විත්තිකාර ශනිල් නෙත්තිකුමාර මුදාහැරියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පවුලේ ඥාතීන් පදිංචිව සිටින කොල්ලුපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ නිවස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගෙවා රවී කරුණානායක මහතාගේ බිරිඳ සහ දියණිය අධ්‍යක්‍ෂ ධූර දරන සමාගමට ලබා දුන් බව හෙළි කළේ අනිකා විජේසූරිය මහත්මිය බවත් විත්තිකරු විසින් ඇගේ සහෝදරයාට තර්ජනය කොට ඇති බවත් එය බරපතල සිද්ධියක් බවත් පැවසුවාය.

එවැනි බරපතල චෝදනාවකට ලක්ව සිටින විත්තිකරුවකුට ඇප නියම කිරීමට තීරණය කරන්නේ නම් විත්තිකරු අධිකරණයට ගෙන්වා ගැනීමට හැකිවන ආකාරයේ කොන්දේසි මත ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර දැනුම් දීමට හා නඩු විභාගයට දින නියම කිරීම සඳහා මෙම නඩුව ලබන අගොස්තු මස 09 වැනිදා යළි කැඳවීමට  නියම කළේය.

Facebook
Twitter
LinkedIn