මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා අතර අද(03) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසු මතභේදයට තුඩු දී ඇති මෝදර මහවත්ත හරහා දිවෙන මීටර් 140ක දුරින් යුතු නල පද්ධතිය හෙට උදෑසන සිට ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීමට තීරණය කර තිබේ.
කොළඹ සිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය වෙත දැනට තෙල් ප්‍රවාහනය කරන නල මාර්ග පද්ධතිය දැඩිලෙස අබලන්ව පවතින බැවින් සහ ඒවායේ ධාරිතාව අඩු බැවින් ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී දින 6ක් පමණ ගතවන බවත් එමගින් මෙරටට ඉන්ධන ප්‍රවාහනය කරන නැව් සඳහා අතිරේක ප්‍රමාද ගාස්තුවක් ද ගෙවීමට සිදුව ඇති බවත් වෘත්තීය සමිති පසුගිය දා පෙන්වා දුන්නේ ය.
මීට විසඳුමක් ලෙස අලුතින් ඉදිකරන නල මාර්ග පද්ධතියේ මෝදර මහවත්ත හරහා පවතින මීටර් 140ක පමණ කොටස ඉදිකිරීමට එම ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් ඉඩ ලබා නොදෙන බවත් එයට රවී කරුණානායක මහතාගේ මැදිහත්වීමක් පවතින බවත් වෘත්තීය සමිති චෝදනා කළේය.
මේ හේතුවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්හිටුවීමට ද වෘත්තීය සමිති පසුගිය දා කටයුතු කළ අතර පසුව සිදුකළ සාකච්ඡාවලින් පසු ඉන්ධන සැපයීම සිදුකළේය.
අද පැවති සාකච්ඡාවලදී තීරණය වී ඇත්තේ නල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හෙට උදෑසන ඇරඹීමටත් අනවසර පදිංචිකරුවන් ලෙස සිටින පවුල් 370කට මහල් නිවාස සංකීරණවල නිවාස ලබාදීමටත් ය.










