පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට

පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට

අද(02) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකෙරෙන පරීක්ෂණවලට අදාලව පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටින ලෙස දන්වා තිබූ අතර, හේමසිරි ප්‍රනාන්දු මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. එසේම පොලිස්පතිවරයා ද හදිසි රෝගාබාධයක් හේතුවෙන් නාරාහේන්පිට රෝහලට අද පෙරවරුවේ ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියේය.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ද අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් සිය රාජකාරිමය වගකීම් සාපරාධී පැහැරහැරීමට ලක්කර ඇති බවය. ඒ අනුව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට අවස්ථා දෙකකදී දන්වා ඇත්තේ අදාල පුද්ගලයන් ඝාතන සැකකරුවන් ලෙස නම්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා තිබිණි.

Facebook
Twitter
LinkedIn