බෝම්බ පිපිරීම ගැන බෝලය පාස්කර ඇඟ බේරාගත හැකිද?

බෝම්බ පිපිරීම ගැන බෝලය පාස්කර ඇඟ බේරාගත හැකිද?

පසුගිය පාස්කු ඉරිදා (21) දින සංචාරක හෝටල් සහ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන 08ක් ඉලක්කකර සිදුවූ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය ආණ්ඩුවේ මෙන්ම මෙරට බලධාරීන් ගණනාවකගේ වගකීම් විරහිත ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් සහ දේශපාලන වාසි ලබාගැනීමේ උවමනාවක් බව මනාවට පැහැදිලිවී තිබේ.

බුද්ධි අංශ මගින් අදාල ප්‍රහාරය තහවුරු කර ගැනීමෙන් අනතුරුව දින 10කට පමණ පෙර එනම් අප්‍රේල් මස 11 වැනිදා එම අනතුරු ඇඟවීම ඇමති ආරක්ෂක කොට්ඨාසය, අධිකරණ ආරක්ෂක කොට්ඨාසය, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය හතර, තානාපති ආරක්ෂක කොට්ඨාසය සහ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය පහ යන ආරක්ෂක අංශවෙත නිකුත් කර තිබිණි.

මෙම අනතුරු ඇඟවීම පොලිස් ආරක්ෂාව ලබාගෙන නොමැති දේශපාලන පක්ෂ නායකයන්ට සහ ඇතැම් මන්ත්‍රීවරුන්ට ලැබී තිබුණේ නැත.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සියළුම කැබිනට් අමාත්‍යවරුන් සහ විපක්ෂ නායක, විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම වගකිවයුතු ආරක්ෂක අංශ නිලධාරීන් මෙම ප්‍රහාරය සම්බන්ධව දැනුවත්ව සිට ඇත.

ඒ අනුව ප්‍රහාරය සම්බන්ධව මහජනතාවගේ ආරක්ෂාව සැළසීමේ වගකීම ඉහත සියළු දෙනාම සතුව පැවති වගකීමකි.

කෙසේ වෙතත් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ඇමතිවරන් හා ආරක්ෂක අංශ බලධාරීන් මාධ්‍ය හමු පවත්වමින් සිදු කළේ ප්‍රහාරය සම්බන්ධව නොදැනුවත්ව සිටි බව දැන්වීම හා එකිනෙකාට දෝශාරෝපනය කිරීම ය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමද ප්‍රහාරයේ වගකීම ආණ්ඩුව වෙත පවරා එහි වාසිය ලබාගැනීමට උත්සාහ කරමින් ඇත. නමුත් මෙම ප්‍රහාරය සම්බන්ධව ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම සහ ගතයුතු ක්‍රියාමාර්ග ඔවුන් කිසිවෙකුත් අනුගමනය කර තිබුණේ නැත.

මෙහිදී විශේෂයෙන් ජනාධිපතිවරයාද කටයුතු කර ඇත්තේ ඉතාමක් වගකීම් විරහිත ආකාරයටය. මෙම ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුවය ජනාධිපතිවරයා සියලු තොරතුරු දැන සිට ඇති බව මේ වනවිට අනාවරණය වී තිබෙන අතර එය දැන දැනත් ජනාධිපතිවරයා එම කාලවකවානුවේ රටෙන් බැහැරව ගොස් තමන්ගේ ආරක්ෂාව පතා ඉන්දියාවේ තිරුපති කෝවිලේ දෙවියන් යදිමින් සහ ආරක්ෂිතව සිටියේය.

ජනාධිපතිවරයා සිය පුද්ගිලක සංචාරය නිම කර යළි මෙරටට පැමිණියේ ප්‍රහාරය සිදුවූ පසුවය. රටේ මුල් පුරවැසියා ලෙස මෙවැනි අනතුරු ඇඟවීමක් පිළිබඳව රට දැනුවත් කිරීමේ ප්‍රධාන කාර්යභාර්යයක් ජනාධිපතිවරයා සතුව පැවතියේය. ඔහුද එම වගකීම පැහැර හැරියේය.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතාත් සඳහන් කරන පරිදි අගමැතිවරයා වෙත මෙම අනතුරු ඇඟවීමේ ලිපිය ලැබී නැති නමුත් අග්‍රාමාත්‍යවරයාගේ අමාත්‍ය මණ්ඩලයට මෙම ලිපිය ලැබී තිබිණි. ඒ බව මනෝගනේශන් ඇමතිවරයා ඇතුළු ඇමතිවරු කිහිප දෙනෙකු මාධ්‍ය හමුවේ කර තිබූ ප්‍රකාශවලින්ද තහවුරු වේ. ඒ අනුව මෙම ප්‍රහාරය පිළිබඳව වූ අනතුරු ඇඟවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් නොවී යැයි කිව නොහැකිය.

ඔවුන්ගේ මෙම වගකීම් විරහිත ක්‍රියාවන් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 310 දෙනෙකුට ජීවිත අහිමිවී ඇති අතර 500 කට වඩා පිරිසකට තුවාල සිදුව ඇත. එසේම සිදුවීම ආශ්‍රිතව ජාතිවාදය නැවත ඇතිවීමේත් මෙරට ආර්ථිකය තවදුරටත් කඩාවැටීමේත් සහ ජාතික ආරක්ෂාව අහිමිවීමේත් අවධානම රට හමුවේ නිර්මාණය වී ඇත.

එම නිසා මෙම ම්ලේච්ඡ ප්‍රහාරය ගැන එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් බෝලය පාස් කිරීම නතර කළ යුතු අතර එසේ බෝලය පාස් කිරීමේන් ජනාධිපති, අගමැති, කැබිනට් ඇමතිවරු සහ විපක්ෂ නායකවරයා ඇතුළු සියලු වගකවයුත්තන්ට පැවරී තිබූ වගකීමෙන් මිදිය නොහැක.

Facebook
Twitter
LinkedIn