නොදන්වා විදුලිය කැපුවාට විදුලිබල මණ්ඩලයට එරෙහිව ගොනුකළ නඩුව 16ට කල්යයි

මහජනතාවට නොදන්වා විදුලිය කැපීමක් සිදුකර ඒ පිළිබඳ තොරතුරු මහජන උපයෝගීතා කොමිසමට ලබා නොදුන්බව පවසමින් එම කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 16 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(09) නියෝග කළේය.

2002 අංක 53 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභා පනතේ 15 වැනි වගන්ති ප‍්‍රකාරව ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය 2018 වර්ෂයේ මැයි මස 28 වැනිදා සිට විදුලි කප්පාදුවට අදාළව මෙන්ම වෙනත් තොරතුරු සම්බන්ධයෙන්, මහජන උපයෝගීතා කොමිසමට තොරතුරු ලබා නොදුන් බව සදහන් කරමින් එම කොමිසම මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ ගොනුකර තිබිණි.

පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් 9 දෙනෙකු නම්කර ඇත.

කෙසේ වෙතත් විත්තිකාර පාර්ශ්වය නියෝජනය කරන ජනාධිපති නීතීඥවරයා විදෙස්ගතව ඇති බැවින් නඩු විභාගය කල් තබන ලෙස විදුලිබල මණ්ඩලය මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව ලබන 16 වැනිදා දක්වා කල් තැබීමට පියවර ගත්තේය.

Facebook
Twitter
LinkedIn