පොහොට්ටු පක්ෂයට බලය හිමි කුරුණෑගල නගර සභාවේ මන්ත්රීවරුන්ගේ දීමනා වැඩිකර ගැනීමට ගෙන ආ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය පළ කිරීමත් සමඟ අද(09) එහි ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වී තිබේ.
විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්රී විජයානන්ද වෙඩිසිංහ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව මන්ත්රීවරුන්ගේ සංග්රහ දීමනා ලෙස රුපියල් 2500ක් වැඩි කිරීමට යෝජනා වූ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණ, ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ තුනම හවුල්වී යෝජනාවට පක්ෂ වී ඇත.
කෙසේ වෙතත් කුරුණෑගල නගර සභාවේ ජනතා ගැටළු රැසක් තිබිය දී මෙම මන්ත්රී වැටුප් වැඩිකර ගැනීම සාධාරණ නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී රනුක සනංජය මහතා ප්රකාශ කිරීමත් සමඟ, යෝජනාවට පක්ෂව අදහස් දැක්වූ මන්ත්රීවරුන් එම මහතාට අපහාස කිරීමටත් අභූත චෝදනා නැගීමටත් කටයුතු කිරීමෙන් නගර සභාවේ ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වී තිබේ. පොදුජන පෙරමුණේ නගරාධිපති තුෂාර සංජීව මහතා ද ජවිපෙට එරෙහිව විශාල විරෝධයක් පලකරමින් හැසිරුණ බව වාර්තා වේ.
මීට ඉහත දී ද පොහොට්ටුවේ කරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාගේ පරිහරණයට නගර සභා අරමුදලින් දෙකෝටි පහලොස් ලක්ෂයක ජගුවර් රථයක් ලබාගැනීමට යෝජනා කර තිබියදී විශාල විරෝධයක් සිදුකර එය අත්හිටුවීය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ජවිපෙ මන්ත්රී රනුක සනංජය මහතා සඳහන් කළේ නගර සභාව මගින් ආදර්ශමත් සේවයක් මහජනතාවට සපයනවා වෙනුවට ගැටළු විශාල ප්රමාණයක් ඉතිරිව තිබියදී මන්ත්රී වැටුප් වැඩිකර ගැනීම ඉතා අසාධාරණ බවය. එසේම ජනතා නියෝජිතයා යනු ගරු සේවයක් බවත් එය ලැබෙන දීමනා වරප්රසාද අපේක්ෂාවෙන් සිදුකරන්නක් නොවන බවත් ඒ මහතා පැවසීය.










