විදුලි ගාස්තු වැඩි කිරීමත් සමග ආණ්ඩුවට එල්ල වන විරෝධය හමුවේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ එයට විරුද්ධව අදහස් පළකිරීමට පටන්ගෙන තිබේ.
හිටපු විදුලි බල අමාත්‍ය පාඨලී චම්පික රණවක නියෝජනය කරන ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ගාස්තු සංශෝධනයෙන් පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතාවයට පත්වී ඇති බවයි.
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටින්නේ විදුලි බල මණ්ඩලයේ පාඩු පියවීමට විදුලි ගාස්තු වැඩිකිරීම ආණ්ඩුවට ලේසි උත්තරයක් වුවද ජනතාවගේ පැත්තෙන් එය ඉතාමත් අසීරු දෙයක් බවයි.
කෙසේ වෙතත් ආණ්ඩුවට සම්බන්ධ වාමාංශික පක්ෂ මේ පිළිබඳව මුනිවත රකිමින් සිටියි.
මෙම විරෝධතාවයන්වලින් පෙනී යන්නේ විදුලි ගාස්තු සංශෝධනයට සන්ධානය නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වගකීම භාරදී කර හැරීමක් බවත් කැබිනට් මණ්ඩලයේදී එකට හිඳ තීන්දු තීරණවලට අත ඔසවන එම දේශපාලන පක්ෂවල කැබිනට් ඇමතිවරුන් ජනතාවගේ විරෝධයන් හමුවේ එම වගකීමෙන් මිදීමට කටයුතු කරමින් සිටින බවත් දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.









