විදුලි බිල අස්සේ අධ්‍යාපනයට දෙයි සුද්දේ…

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හොර පාරෙන් යළි ගෙන ඒමේ තැත පරදවමු යනුවෙන් සඳහන් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය (SSU) විසින් මාද්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිදායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළවේ.

“රාජ්‍ය නොවන ආයතනවලට උපාධි පාඨමාලා පවත්වා ගෙන යාමේ අවසරය ලබා දීමේ බලය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් ඉවත් කොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් වෙතට පවරා ගැනීමට යන බව වාර්තා වී තිබේ. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා පමණක් කටයුතු කිරීමටද නියමිත බව වැඩිදුරටත් වාර්තා වී ඇත.

2011 වසරේ නොවැම්බර් මාසයේ කෙටුම්පත් කර 2012 පෙබරවාරි වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ගිය “පෞද්ගලික විශ්වවිද්‍යාල පනත” වෙනත් ආකාරයකින් ක‍්‍රියාත්මක කිරීමකි. එම පනත මඟින් උත්සාහ කළේද විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සීමා කිරීමටත්, පෞද්ගලික හෙවත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සඳහා වෙනම කොමිෂන් සභාවක් පිහිටුවීමටත්ය. මේ කොමිසම් දෙකටම ඉහළින් පත් කරන සර්ව බලධාරී මණ්ඩලයකට ලංකාවේ උසස් අධ්‍යාපනය පාලනය කිරීමේ වගකීම භාර දීමටය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ, ශිෂ්‍යයන්ගේ, වෘත්තීය සමිතිවල හා බහුජන සංවිධානවලින් එල්ල වූ විරෝධය හමුවේ යෝජිත පනත තාවකාලිකව හකුළා ගැනීමට ආණ්ඩුවට සිදු විය. එහෙත් සිය අරමුණ වූ විශ්වවිද්‍යාල පෞද්ගලීකරණ ව්‍යාපෘතිය ආණ්ඩුව දශමයකින්වත් පසුපසට ගන්නේ නැත. ඒ වෙනුවට විවිධ චක‍්‍රලේඛ හා ක‍්‍රියාමාර්ග හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත බල ගන්වමින් තිබේ. මේ ආණ්ඩුවේ සහජ ස්වභාවය වමට සිග්නල් දමා දකුණට හැරවීම නිසාම ඒ ගැන අප පුදුම විය යුතුද නැත.

කෙතරම් අඩුපාඩු තිබුණද විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධව යම් ස්වාධීන බලයක් 1978 අංක 16 දරන පනතෙන්ම හිමිව තිබේ. 1977න් පසුව බලයට පත් සියළු ආණ්ඩු මෙම කොමිසම දේශපාලනීකරණය කොට සිය අධ්‍යාපන පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තිය ඒ හරහා ක‍්‍රියාත්මක කරවීමට උත්සාහ කළද එය මුළුමනින්ම සාර්ථක වූයේ නැත. දැන් ඒ වෙනුවට පෞද්ගලින විශ්වවිද්‍යාල සඳහා අවසර ලබා දීමේ බලය එස්.බී. දිසානායක ඇමතිවරයා යටතට ගෙන ඇත්තේ හකුළාගත් පනත සහ පෞද්ගලික විශ්වවිද්‍යාල යළි ක‍්‍රියාත්මක කිරීමටය.

එස්. බී. දිසානායක ඇමතිවරයා පෙනී සිටින්නේ උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස නොව මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇමතිවරයා ලෙසිනි. දැන් ඔහු උසස් අධ්‍යාපන අමාත්‍යාංශයද පෞද්ගලික විශ්වවිද්‍යාල අමාත්‍යාංශයක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටී. ආණ්ඩුව සිය පෞද්ගලික විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය තවත් වටයකින් ඉදිරියට ගෙන ඇති මේ මොහොතේ එය පරාජය කිරීමට පෙළගැසෙන ලෙස නිදහස් අධ්‍යාපනයට ආදරය කරන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.”

Facebook
Twitter
LinkedIn