2009 යුද්ධය අවසන් වීමෙන් පසු ගුවන් ගතවී සිටි ආණ්ඩුවට දැන් පොළොවට බැසීමට සිදුව තිබේ. ඒ යුද්ධය අවසන් වීමෙන් පසුව කළ යුතුව තිබූ, නමුත් ආණ්ඩුව විසින් ඉටුකිරීම අතපසු කළ, හිතාමතා මඟහරින ලද වගකීම් හේතුවෙන් ජනතාව හා ජාත්‍යන්තරය ඉදිරියේ වගඋත්තරකරුවා බවට පත්වී තිබේ.
ගුවන් ගතව සිටි සමය අවසන් වී ආණ්ඩුව සිටින්නේ වේගයෙන් බිමට එමිනි. දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ආණ්ඩුවේ ප්‍රතිරූපය කඩා වැටෙමින් තිබේ. ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික අසාර්ථකත්වය පිළිඹිඹු කරන යෝජනා වාර්ෂිකව සම්මත වෙමින් තිබේ. දේශීය වශයෙන් ආර්ථිකය බිඳවැටෙමින් තිබෙන අතරම ජාත්‍යන්තර ප්රතිරූපයද කඩාවැටෙමින් තිබීම රාජපක්ෂ ආණ්ඩුව අද පත්වී ඇති දෙකොන විලක්කුවය.
ආණ්ඩුව ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්නේ, ආර්ථිකය යහපත් කරලීමේ ක්‍රියාමාර්ගවලට පිවිසීමෙන් නොවේ. අනෙක් අතට ආණ්ඩුවට එවැනි වැඩපිළිවෙළක් ඇත්තේද නැත; ඇත්තේ කැසිනෝ හෙවත් සූදු ආර්ථිකය පුළුල් කිරීමය. ඒ ඔස්සේ ධන කුවේරයින්ගේ ඇඟිලි අතරින් වෑස්සෙන යමක් තමන්ට හා තම සමීපතමයින්ගේ සාක්කුවලට දමා ගැනීම ආණ්ඩුවේ ආර්ථික ‘උපක්‍රමය’ වී ඇති සැටිය. ඊට අමතරව ආණ්ඩුව සිදුකරමින් සිටින්නේ, ආර්ථිකය පිළිබඳව අඳුරු චිත්‍රයක් මැවීමට ඉඩ නොදීමේ සූක්ෂම ඉලක්කම් හරඹයකට පිවිසීමය. අමතරව දිනපතා ඉහළ යන භාණ්ඩ හා සේවා ගාස්තු ගෙවා ගැනීම ජනතාවට අපහසුවෙමින් තිබියෙදී, පාරිභෝගිකයින්ගේ ක්‍රය ශක්තිය හැකිළෙමින් තිබියෙදී ආර්ථිකය ‘නැගලා යන බව’ පෙන්වීමේ ඉලක්කම් වාර්ෂිකව නිකුත් වෙමින් ඇත්තේ ඒ නිසාය.
ශ්‍රී ලංකා මහ බැංකුව මෙහිලා ඉතා විශාල වැඩ කොටසක්, නැතිනම් ඊට අදාල සියලූ කටයුතු සිදු කරමින් සිටියි. පසුගියදා නිකුත් වූ මහ බැංකු වාර්තාවට අනුව 2012 ආර්ථිකයද 6.4%ක වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. උද්ධමනය මාස 50ක් තිස්සේ තනි ඉලක්කමකය. එය 9.8%ට වඩා ඉහළ නොයයි. ඊළඟ මාසයේ අවම අගයකින් නැවත ආරම්භ කෙරේ. හරිම අපූරු ඉලක්කම් යෙදීම්ය. ආර්ථිකයට අදාල ඉලක්කම් හදන්නේ මහ බැංකුවය. මේ ඉලක්කම් නිර්මාණය කිරීම සඳහාද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකු උපදෙස් ලැබේ. මේ පිළිබඳව තමන් ආර්ථික ඝාතකයෙකු ලෙස කටයුතු කළ බව කියන ජෝන් පර්කින්ස් නම් ඇමරිකානුවා ඇමරිකානු අධිරාජ්‍යයේ රහසිගත ඉතිහාසය’ කෘතියේ මෙසේ ලිවීය.”තමන්ගේ (අයි.එම්.එෆ්.) වැඩසටහන් වැඩකරන බව පෙන්වීම සඳහා ඉලක්කම් එකතු කරමින් ආර්ථික පුරෝකථනයන් සකසන ලදී. මේ සංඛ්‍යා භාවිත කළ බොහෝ දෙනෙක් ඒවා සාමාන්‍ය පුරෝකථනයන්ගෙන් වෙනස් වන බව නොදැන සිටියහ. මෙබඳු අවස්ථාවලදී දළ දේශීය නිෂ්පාදනය පිළිබඳ අනාවැකි සංකීර්ණ සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රමවේදයන් මත පදනම් නොවූවා පමණක් නොව ආර්ථිකය පිළිබඳ හොඳින් දන්නා අයගේ ඇස්තමේන්තුවලටවත් අනුකූල නොවීය. ඒවා අයි.එම්.එෆ්. වැඩසටහනේම කොටසක් වශයෙන් ‘කතාබහ කරගන්නා ලද හුදු ඉලක්කම් පමණක් විය” මේ තත්වය තුළ මහ බැංකු වාර්තාව පදනම් කරගනිමින් විද්වත් විශ්ලේෂණවලට එළඹීම අවදානම් කටයුත්තකි.
දැන් මහ බැංකුව ආණ්ඩුවේ ඉල්ලීම මත තවත් වැඩකටයුත්තකට අත ගසා තිබේ. ඒ රට ‘ඇන්දීමට’ අමතරව ජාත්‍යන්තර ඇන්දීමේ කටයුත්තකි. රට පිළිබඳව ජාත්‍යන්තරය තුළ යහපත් චිත්‍රයක් ඇඳීමේ රාජ්‍යතාන්ත්‍රික වගකීම පැවරී තිබෙන්නේ, විදේශ කටයුතු අමාත්‍යාංශයටය; ඒ මගින් රටේ විදෙස් සංචිත වැයකරමින් නඩත්තු කරනු ලබන විදෙස් දූත මණ්ඩල සේවාවලටය. එහෙත් මහ බැංකුව පසුගිය මාර්තු මාස 16වැනිදා පවරා ගත්තේ, මේ වගකීමෙන් කොටසකි. ඒ, එක්සත් ජනපදයේ ආණ්ඩුව හා විපක්ෂය ඇතුළු කොටස් ‘කැන්වස් කරමින්’ ශ්‍රී ලංකා ආණ්ඩුව පිළිබඳව ලස්සන චිත්‍රයක් ඇඳීමය. වාර්තාවන අන්දමට මහ බැංකුව මේ වැඩයට අතගසා ඇත්තේ තනිව නොවේ; ඇමරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික ආයතනයකට රටේ වියදමින් කොන්ත්‍රාත්තුවක් ලබා දීමෙනි.
Thomson Advisory Group නම් ඇමරිකානු උපදේශක සමාගමේ ප්‍රධානීන්ගේ ශ්‍රී ලංකා සංචාරයක් අතරතුර මහ බැංකුව විසින් වර්ෂයක කාලයක් සඳහා ඔවුන් සමග ගිවිසුමකට අත්සන් තබා තිබේ. ඒ, මහ බැංකුව විසින් මාසයකට ඩොලර් 66,000ක් හෙවත් රුපියල් මිලියන 8කට වැඩි මුදලක් ගෙවීමේ පදනම මත ලංකාව වෙනුවෙන් ඇමරිකාව තුළ ‘කැන්වසින් කිරීමේ’ කටයුත්ත එයට පවරා දීමය. මෙහි සරදම වන්නේ, එක්සත් ජනපදය විසින් ජිනීවාහිදී ලංකාවට එරෙහි යෝජනා ගෙන එන එන අතරම ශ්‍රී ලංකා ආණ්ඩුවේ මහ බැංකුව ඇමරිකානු සමාගමක් සමග ගිවිසුම් ගත වීමය.
මහ බැංකුව තම වෙබ් අඩවියේ ප්‍රකාශ කරන අන්දමට බැංකුවේ අරමුණු වන්නේ ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වාගෙන යාම සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගෙන යාමය. එහෙත් උපදේශක සමාගම සමග අත්සන් කර ඇති ගිවිසුමින් ඔවුනට කොන්ත්‍රාත් දී ඇති ඇතැම් කර්තව්‍යයන් මහ බැංකුවේද නැතහොත් ආණ්ඩුවේම දැයි සැක උපදියි. නිදසුනක් ලෙස, යුද්ධයෙන් පසු නැවත ගොඩනැගීමේ හා ප්රතිසන්ධාන කි‍්‍රයාවලිය සඳහා දිගු කාලයක් ගතවන බවත් මේ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට (දඬුවම් නොකර) කල් ලබා දෙන ලෙසත් ඉල්ලීමේ යෝජනාව දැක්විය හැකිය. මේ අනුව මහ බැංකුව රටේ ජනතාවගේ මුදල් වැයකරමින් උත්සාහ ගන්නට යන්නේ එක්සත් ජනපද ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කිරීම වැනි බැ?රුම් කටයුත්තකි. එහෙත් එවැන්නක් මහ බැංකුවේ මෙහෙවර තුළ හෝ දැක්ම තුළ ප්‍රකාශ වන්නේ නැත. ඇත්තේ, ආර්ථික කටයුතු පිළිබඳ උපදේශකයා ලෙස ප්‍රතිපත්ති පිළිබඳ නිර්දේශයන් රජයට ලබාදීමය. රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවලට බැසීමක් පිළිබඳව කිසිදු සඳහනක් නැත. ඒ අනුවද නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ හෝ නොකිරීමේ වගකීම රජය සතුය. එහෙත් මහ බැංකුව දැන් ක්‍රියාත්මක කිරීමේ කටයුත්තටත් බැස ඇත. එම නිසා අතිවිශාල වියදමක් දරමින් මෙතෙක් මේ පිළිබඳව නඩත්තු කළ විදේශ කටයුතු අමාත්‍යංශය හා එහි දූත මණ්ඩල විසුරුවා හැර එම සේවාව මහ බැංකුව ලබා ඇමරිකානු උපදේශක සමාගමටම කොන්ත්‍රාත් දීම රටේ ජනතාවට වඩා ලාභදායී වනු ඇත!
එහෙත් මෙලෙස ආණ්ඩුවේ ආශීර්වාදය මත මහ බැංකුව හොර රහසේ ඇමරිකාව සමග මිත්‍රකම් අලූත් කරගැනීමට කටයුතු කරද්දී ආණ්ඩුව රටට පෙන්වන්නේ, ඇමරිකානු විරෝධයකි. ඒ, රටේ ජනතාවගේ අධිරාජ්‍ය විරෝධී මානසිකත්වය තමන් වෙත තබාගැනීමටය. ජීනීවාවලදී තමන්ට එරෙහි යෝජනා ගෙනාවාට තමන් ‘තරහා නැති බව’ පෙන්වීමට රාජපක්ෂ ආණ්ඩුවට අවශ්‍යය. ආණ්ඩුව ආර්ථික ක්ෂේත්රයේ අනුගමනය කරමින් සිටින්නේ, එක්සත් ජනපදය ප්රමුඛ අධිරාජ්‍යවාදී රටවලවල නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයමය. එහි පැවැත්ම සඳහා එක්සත් ජනපදයේ සහයෝගය නැතුව බැරිය. සූදු කලාපයට ඇමරිකානු ධන කුවේරයන් නොපැමිණියහොත් වැඩක් නැත! අධිරාජ්‍ය විරෝධී රටවල් තමන් සමග බවට සිංහලෙන් පාරම්බෑවාට ඇමරිකානු මිත්‍රත්වය ශක්තිමක් කරන්නට මසකට ඩොලර් 66,000ක් වියදම් කරන්නට ආණ්ඩුව නොපැකිලෙන්නේ ඒ නිසාය.
ආණ්ඩුව විදේශ සේවය විශේෂයෙන් තානාපතිකම් පාවිච්චි කළේ හා කරමින් ඉන්නේ, තම ඥාති ගණයා සතුටු කරන්නටය; ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සතුටු කරන්නටය; ඉහළ රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුව වෙනුවෙන් සිදුකළ ‘මෙහෙවරට’ සලකන්නටය. ඔවුන්ගෙන් විදේශ සේවයේ වගකීම් ඉටුවී නොමැති බව ඉටුවන්නේද නැති බව පෙනේ. නමුත් එහි වරද ජනතාවගේ නොවේ. එවැනි අමනෝඥ තීන්දු ගත් ආණ්ඩුවේය. වැඬේ කොතරම් දුරදිග ගොස් ඇත්ද කියතොත් තානාපතිගේ වැඩකටයුතු කරන්නටද එක්සත් ජනපදයේ Majority Group සමාගමට කොන්ත්‍රාත් දී තිබේ; විහිළුව ඒකය.
එහෙත් මේ රොත්ත බුරුත්ත නඩත්තු කිරීමේ වියදමට අමතරව වැඬේ ‘හරියට කිරීමේ’ කොන්ත්‍රාත් වෙනුවෙන් ගෙවන්නටද සිදුවී ඇත්තේ පොදු ජනතාවටය. ඒ, විදුලිය වෙනුවෙන් වැඩි මුදලක්ද බස් ගාස්තු වෙනුවෙන් අමතර මුදලක්ද ගෙවීමට නියමිත වී ඇති, දැනටමත් දඬුකඳේ ගසනු ලැබ ඇති ජනතාවය.









