අද (13) අලුයම යාපනයේ පිහිටි “උදයන්“ පුවත් පත් කාර්යාලයට එල්ල වු ප්‍රහාරය ඔවුන් විසින්ම සිදුකරගන්නා ලද්දක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
අවුරුදු සමයේ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය උදයන් පුවත්පතට සම්බන්ධ පුද්ගලයින් විසින්ම එල්ල කරගෙන ඇති බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලින් ඒ බව අනාවරණය වී ඇති බවත් හෙතම කියා සිටියි.
මීට සතියකට පමණ පෙර කිලිනොච්චියේ පිහිටි උදයන් පුවත්පත් බෙදාහැරීම් කාර්යාලයට පහරදීමද ඔවුන් විසින්ම සිදුකරගන්නා ලද්දක් බවත් ලක්ෂ්මන් හුළුගල්ල මහතා සඳහන් කළේය.
එසේ වුවද “උදයන්” පුවත්පතේ කර්තෘ ටී. ප්රේමානන්ත් මහතා කියා සිටියේ, තම පුවත්පත් කාර්යාලයට, මාධ්‍යවේදීන්ට මෙන්ම බෙදාහැරීම් නියෝජිතයින්ටද අවස්ථා කිහිපයකදීම පහරදීම් සිදුවූ බවයි.
කිලිනොච්චියේ පිහිටි උදයන් පුවත්පත් බෙදාහැරීම් කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු යාපනය පිහිටි තම ප්‍රධාන පුවත්පත් කාර්යාලයට පොලිස්පතිවරයාගෙන් ආරක්ෂාව ඉල්ලා සිටියද ඒ පිළිබඳ කිසිදු සුභවාදී ප්‍රතිචාරයක් නොදැක්වූ බවද ඔහු කියා සිටී.
පසුගිය වසරේ ජූනි 15 වනදා කටුවනදී ආණ්ඩුවේ මැරයන් විසින් ජවිපෙ ජනහමුවකට සිදුකළ වෙඩිතැබීම අවස්ථාවේදීද හුළුගල්ල මහතා පැවසූවේ එම වෙඩි තැබීම ජනතා විමුක්ති පෙරමුණේම දෙපිරිසක් අතර ඇතවූ වූවක් බවයි. නමුත් එම ප්‍රකාශය සිදුකර පැය කිහිපයක් යන්නටත් පෙර ඝාතකයන් කවුරුන්ද යන්න රටටම හෙළිවිය.









