විදේශිකයෙකු ඝාතනය කිරිමේ සිද්ධිය ගැන සංචාරකයින් පිරිසක් ජාත්‍යන්තර මාධ්‍යට තොරතුරු හෙළි කරයි

තංගල්ලේ සංචාරක හෝටලයකදි විදේශිකයෙකු ඝාතනය කිරිමේ සිද්ධිය ඇසින් දුටු එහි සිටි සංචාරකයින් පිරිසක් ජාත්‍යන්තර මාධ්‍යට තොරතුරු හෙළි කර තිබේ.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ සිද්ධියෙන් පසු මානසික පීඩනයට ලක්වු ඔවුන් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවය.

ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ඊවිනින් නිව්ස් ආයතනයට කැනේඩියානු ජාතික ඩික්සි ක්ලේබට් නැමැත්තිය ප්‍රකාශ කර ති‍බුණේ හෝටලය තුළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් අතර ගැටුමක් ඇති වූ බවය.

ඇය එහිදී මෙලෙස පවසා තිබුණි.

“එය නවත්වන්නැයි කෑ ගැසුවා ඒත් ඔවුන් පුටු ඔසවා‍ බිම හිටි පුද්ලයාට පහර දුන්නා. එක්කෙනෙක් තුවක්කුවක් උස්සන් එනවා දැක්කා. ඊට පස්සේ තුවක්කුවක් තියෙනවා කියලා කෑ ගහලා කාමරයට දුවගෙන ගියා ඒ අතර වෙඩි ශබ්දයක් ඇහුණා”

මේ පිරිස සමඟ සිටි ඔරායන් ෆෝස්ටර් නැමැත්තා ප්‍රහාරය පිළිබදව වැඩිදුරටත් තොරතුරු හෙළි කළේය.

“කුරාම් පියවර 15ක් පමණ ගිහින් වැටුණා, නැගිට්ටේ නෑ”

අනතුරුව ඔවුන් කාමරයට ගොස් දුරකථන ඔස්සේ ආධාර ඉල්ලූ බවත් විනාඩි 45කින් පමණ පසු පොලිසියට පැමිණි බවත් අදාළ සංචාරකයින් ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය.

කැනේඩියානු ජාතික ඩික්සි ක්ලේබට් මෙසේ ද පවසා තිබුණි.

“පොලිසිය ඇවිත් ගියා. සංචාරකයින්ට මොනවත් ඇහුවෙත්, කිව්වෙත් නෑ. ප්‍රාදේශීය දේශපාලඥයෙක් මේකට සම්බන්ධයි කියලා දැනගත්තම භයානක තත්ත්වයක් ලෙස මට හිතුණා. ගිනි අවි පහසුවෙන් හැසිරවිය හැකි ප්‍රදේශයක් යැයි මට සිතුණා. ප්‍රදේශවාසීන් පවා මේ පිළිබඳව ප්‍රකාශ කරන්න බියෙන් තමයි ඉන්නේ”

 

Facebook
Twitter
LinkedIn