පේරා සරසවි සිසුන්ගෙන් Lankatruth වෙත තුති

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ට වැලි මිශ්‍ර බත් ආහාරයට ගැනීමට ලබාදෙමින් ඔවුනව නවක වදයකට ලක්කලේයැයි පසුගියදා මාධ්‍ය ආයතන කිහිපයක් ඔස්සේම වාර්තාකර තිබූ සාවද්‍ය පුවත අපවිසින් වාර්තානොකර සිටීම සම්බන්ධයෙන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එම විශ්වවිද්‍යාලයේ සියළුම සිසු සිසුවියන් වෙනුවෙන් ස්තූතිය පළ කරමින් E-mail මගින් ලිපියක් එවා ඇත. එය පහතින් පළවේ.

“පසුගිය සතිය තුල සිටම පේරාදෙණිය ඉංජිනේරු පීඨය තුළ සිදුවූවායැයි මාධ්‍ය විසින් ලොමුදැහැගන්වන ලෙස වාර්තාකල කල නවකවද සිද්ධියක් විය. ඔබ ප‍්‍රවෘත්ති වෙබ් අඩවිය අනෙකුත් මාධ්‍ය හා නොයමින් මෙම අසත්‍ය පුවත වාර්තාකරණය නොකිරීම පිලිබදවත් හුදු ප‍්‍රසිද්ධිය සහ ලාභ අපේක්ෂාවෙන් මාධ්‍ය භාවිතය තුල ඔබට ඇති වගකීම අත්නොහැර කටයුතු කිරීම පිලිබදවත් 12,000 කට අධික පේරාදෙණිය සිසු සහෝදරත්වය වෙනුවෙන් මහා ශිෂ්‍ය සංගමය ඔබට තුති පලකරසිටී. පේරාදෙණිය තුළ සිදුවන ඕනෑම දෙයක් මාධ්‍යට සහ ජනතාවට විවෘත අතර සරසවියට පැමිණ එහි සත්‍යතාව විමසාබලන මෙන් ඔබ ආයතනයෙන් ඉල්ලාසිටින්නෙමු. පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය සහ සරසවි උපකුලපති තුමා එක්ව මෙම මාධ්‍ය වාර්තාවේ අසත්‍යතාව පෙන්වාදීමට පසුගිය මාර්තු 23 දින උපකුලපති නිලනිවසේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්විය.

සිදුවීම පිලිබඳව ශිෂ්‍යයකුගේ දෘෂ්ඨිකෝණයෙන් කෙරෙන විමසීමක් සහිත ලිපියක්ද මේ සමග එවා ඇත.

“පසුගිය සතිය පුරාවටම සියලූම මාධ්‍යවල ඉතා ආකර්ශණීය ලෙස ඉදිරිපත් කල පුවත වුයේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ නවක වදය සිදුවුයේ යැයි කියන සිද්ධියයිග විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ නිලධාරීන් පවා මාධ්‍යට පැවසූවේ පස්, වැලි, ප්ලාස්ටික් හා මළ බත් වලට මිශ‍්‍ර කර නවක සිසුන්ට කන්නට දී තිබූ බවයි. එසේම සිසුන් කීප දෙනෙකුට විවිධාකාර දඩුවම් ලබා දී ඇතිබව විවිධ මාධ්‍ය විවිධ ලෙස වාර්තා කලහ.

මේ විහිළුසහගත ප‍්‍රකාශ වලින් පේරාදෙණිය සරසවියේ අපකීර්තියට ලක් කිරීමේ හිරිකිත, නින්දිත ක‍්‍රියාදාමයන්ට විරුද්ධව යම් ක‍්‍රියාමාර්ගයක් ගැනීම් සඳහා විශ්වවිද්‍යාල උපකුලපතිතුමා මහා ශිෂ්‍ය සංගමයට පොරොන්දුප‍්‍රකාරව පසුගිය 23 වන දා උපකුලපති නිල නිවසේදී මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් මහා ශිෂ්‍ය සංගමයද ඒකාබද්ධව පැවැත්වුණි. එහිදී එතුමන් පැවසූයේ මාධ්‍ය වලින් ප‍්‍රචාරය වන අන්දමේ නවක වධයක් තමන් එම ස්ථානයට ගිය අවස්ථාවේ නොදුටුබවත්, නවක සිසුන් විසිපස් දෙනෙකු පමන තමන් නිවෙස් වලින් ගෙනා බත් පාර්සල් එක්කාසුවී ආහාරයට ගනු තමන් දුටු බවත් ය. එසේම එය ඉතා අසාමාන්‍ය සිදුවීමක් බවත් නවක සිසුන් කුමන හෝ බලපෑමකට යටත්ව ඇති බවත් එතුමා පැවසීය.

මුලින්ම පේරාදෙණිය ඉංජිනේරු පීඨයට එල්ල වූ මෙම නින්දිත මඩ ප‍්‍රහාර වලට එරෙහිව ක‍්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් උපකුලපතිතුමන්ට අප ස්තූතිවන්ත විය යුතුය. එසේම එතුමන්ගේ ප‍්‍රකාශයද ඉතාම සාධාරණය. මන්දයත්, විශාල පිරිසක් එකට බත්මුල් බෙදාගෙන කෑම තරඟකාරී සමාජ රටාවක් තුල අසාමාන්‍ය දෙයක් වන බැවිනි. නමුත් අප ඉතා ආඩම්බරයෙන් පවසන්නේ ඒ අසාමානය පේරාදෙණිය තුළ ඇති ආශ්චර්යයයි. ඒ අසාමාන්‍ය පේරාදෙණිය අප හඩනගා කියන අභිමානයයි. ඒ අසාමාන්‍යය පේරාදෙණි සරසවි සිසු ප‍්‍රජාව තුල ඇති ශක්තියයි. විශ්වවිද්‍යාල රැසක සිසු සමගිය පොඩි කර දැමුවද පේරාදෙණියට අත තැබීමට නොහැකිවූ හාස්කමයි. ඉතින් මෙවැනි සිදුවීමක් සමාජයේ ආශ්චර්යක් වුවද පේරාදෙණිය තුළ ඉතාම සාමාන්‍ය දෙයකි. එම නිසා තොපි මෙහෙම කාපියව් යැයි කියා කවුරුවත් අපට කිවයුතු වන්නේ නැත. මා නේවාසිකව සිටින අයිවෝර් ජෙනින්ග්ස් ශාලාවේ අපේ බරාඳයේ කෘෂි විද්‍යා, විද්‍යා, ශාස්ත‍්‍ර පීඨ, ඉංජිනේරු පිඨ හතරේ සිසුන් නේවාසිකව සිටිති. ඉරිදා හවසට මෙවැනි සිද්ධි ඕනෑ තරම් දැක ගැනීමට හැකියාව තිබේ. එය අපට උරුම වූයේද අප දුටු ආදර්ශ වලිනි.

එබැවින් අවසන් වශයෙන් සඳහන් කළ යුත්තේ යම් යම් ප‍්‍රතිලාභ බලාපොරොත්තුවෙන් පේරාදෙණිය සරසවිය අපකීර්තියට පත් කිරීමට දරණ මේ උත්සහය නිසා, වානේ තලන විට පන්නරය ලබන්නාක් මෙන්, මෙහි තව තවත් පන්නරය ලබන්නේ සිසු එකමුතුවේ ශක්තිය බවයි. එමනිසා එවැනි පාර්ශවවලට ශෝකානුකූල ස්තූතිය පල කරන අතර පේරාදෙනිය සරසවියත් තවත් එක් උසස් අධ්‍යාපන ආයතනයක් කිරීමට උත්සහ දරන උසස් අධ්‍යාපන ඇමතිතුමාට පැවසීමට ඇත්තේ එතුමාගේ සිහිනය සැබෑ කරගැනීම අප ආදර්ශයෙන් පවරාදෙන අපගේ මාහැගි උපසංස්කෘතිය පවතින තෙක් සිහිනයක් සිහිනයක්ම පමණක් වන බවයි.”

Facebook
Twitter
LinkedIn