කුමන්ත්‍රණය පරාද කර අලුත් ආණ්ඩුවක් පිහිටුවා ඇත. එහෙත් එහි ඇමති මණ්ඩලය පත්කිරීම තවමත් අවසන් වී නැත. යූඑන්පිය නම් තිස් හයක ලැයිස්තුවක් මෛත්‍රීපාලට යවා ඇත. මෛත්‍රීපාල ඉන් නම් අටක් කපා ඉවත්කොට ඇත. හදිසියේ වූ මේ සිද්ධියත් එක්ක සමහර ඇමතිවරුන්ට කලින් නොසිතූ ලෙස ඇමති ධුර ලැබී ඇත. ඒ කියන්නේ අමාත්‍යාංශ කිහිපයක් ලැබී ඇත. ඒ වගේම බලාපොරොත්තුවෙන් හිටපු අමාත්‍යාංශ කිහිපයක්ම නොලැබී ඇත. ඉන් ප්‍රධානම එක මුදල් අමාත්‍යාංශයයි. රවී කරුණානායක දිගින් දිගටම පක්ෂය ඇතුළේ ඒ වෙනුවෙන් පොරබදා ඇත. එහෙත් හැමෝම වගේ එයට විරුද්ධ වී ඇත. අන්තිමේදී කරකියා ගන්න දෙයක් නැතිම වූ තැන රවීට විදුලිබල හා බලශක්ති එකට එකඟවන්නට සිදුව ඇත. අද වෙනකොට රවී ප්‍රසිද්ධියේම මේ ගැන මාධ්‍යයට අදහස් පළ කරමින් සිටියි. ඔහුට අනුව යූඑන්පියේම දෙන්නෙක්, තුන්දෙනෙකුගේ කුහකකම් නිසා ඔහුට මුදල් ඇමති ධුරය ලැබී නැත.
රංජිත් මද්දුම බණ්ඩාර කලින් සිටි නීතිය හා සාමය බාර ඇමතිවරයාය. ඒ කියන්නේ පොලිසිය බාර ඇමතිවරයාය. ඔහුගේ නම ඒ සඳහා යෝජනා කර තිබුණි. එහෙත් මෛත්‍රීපාල ඒ වෙනකොට පොලිසිය හා මුද්‍රණ සංස්ථාව තමන්ට පවරාගෙන අවසන්ය. ඒ පවරා ගැනීම සිදුකළේ පසුගිය කුමන්ත්‍රණය අස්සේය. 19 වැනි සංශෝධනයට අනුව මෛත්‍රීට තියාගත හැක්කේ ආරක්ෂක අමාත්‍ය ධුරයට අමතරව පරිසර හා මහවැලි යන දෙක පමණි. එයත් මෛත්‍රීපාල සිරිසේනගේ ධුර කාලය අවසන් වන තෙක් පමණි. එය එසේ කරන්න සිදුවූයේ ඒ වෙනුවෙන් ඔහුම කළ ඉල්ලීමට අනුවය. ඇත්තටම ඔහු දිගටම ඉල්ලා සිටින්නේ මහවැලි අමාත්‍යාංශයයි. චන්ද්‍රිකා මැදිහත් වී “ඇයි ඔබතුමාම පරිසර එකත් තියාගන්නකෝ” යැයි කියූ නිසා එයත් ඉල්ලාගත් කතාව ඇත්තකි. කෙසේ නමුදු වෙනත් අමාත්‍යාංශයක ඇති විෂයයන් මේ කියන අමාත්‍යාංශ තුනෙන් එකක් යටතට පවරා ගැනීම කළ හැකිය. ඒ අනුව මෛත්‍රීපාල වෙනමම තිබූ පොලිසිය ආරක්ෂ අමාත්‍යාංශය යටතට පවරා ගත්තේය. ජනමාධ්‍ය යටතේ තිබූ මුද්‍රණ සංස්ථාවත්, ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගත්තේය. ඒ නිතර නිතර ගැසට් ගහන්නට අවශ්‍ය වූ නිසාය. ඒ දවස්වල පොලිසිය හා හමුදාව ආරක්ෂාවට යොදවා මහ රාත්‍රියේ ගැසට් කිහිපයක්ම නිකුත් කළේය. එහෙත් දැන් ඒවා ආපසු පවරා දිය හැකිය. එනමුදු තවමත් එසේ සිදුකර නොමැත.
එපමණක් නොව පත්කළ නව අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන වෙනම ගැසට් කිරීමද මෙතෙක් සිදුකර නොමැත. ඒ නිසාම අමාත්‍යවරුන් පත්කළද නිශ්චිත වශයෙන්ම වැඩකටයුතු සිදුකිරීමට පූර්ණ වශයෙන් බලයක් පැවරී නොමැත. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පථයන්ද තවමත් නිශ්චය වී නොමැත. මේ තත්ත්වය තුළ තවමත් ඇත්තේ ව්‍යාකූල භාවයකි.
එතකිනුදු නොනැවතී දිගින් දිගටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටද බලකරමින් සිටියි. 19 වෙනි සංශෝධනයට අනුව මෙකී සභාව පිහිටුවන ලද්දේ තනි පුද්ගලයෙකු සතු වූ අසීමිත බලය වෙනස් කිරීමේ අරමුණින්ය. කලින් ජනාධිපතිවරයා තමන්ට ඕනෑ ඕනෑ විදිහට ඉහළ අධිකරණවලට පුද්ගලයන් පත්කළේය. ඒ නිසාම අධිකරණය ජනාධිපතිගේ ඕනෑ එපාකම් ඉටුකරන දේශපාලන මෙවලමක්ම විය. මහින්ද රාජපක්ෂ මොහාන් පීරිස්ව පත්කළේ ඒ අනුවය. ඔහු පමණක් නොව එලෙස පත්කළ දූෂණ චෝදනා ඇති විනිසුරුවරුන් කිහිපදෙනෙක්ම ඉහළ උසාවිවල සිටිති. දැන් මෛත්රීපාලයි, මහින්දයි දෙන්නම උත්සාහ කරන්නේ ඒ අයව ඉහළ අධිකරණවල ඉහළම පුටුවලට පත්කිරීමටය. එවැනි නින්දිත උත්සාහයන් පසුගිය සිකුරාදා ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප වී ගියේය. ඔක්තෝබර් 25 වෙනිදා සභාවෙන් අනුමත කර යවන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා මෛත්‍රීපාල මෙතෙක් පත්කර නොමැත. එය එසේ තිබියදී තවත් නම් දෙකක් හදිසියේම එවා තිබිණි. කෙසේ නමුදු ව්‍යවස්ථා සභාවේ බහුතරය විසින් එය ප්‍රතික්ෂේප කොට යවා ඇත. ඒ වගේම දැනට මහාධිකරණයේ සිටින මේ දෙසැම්බර් 31 වෙනිදා විශ්‍රාම යන කෙනෙක් සහ ජනවාරි 01 වෙනිදා විශ්‍රාම යන කෙනෙක්ද අභියාචනාධිකරණය සඳහා නම් කොට එවා ඇත. ජනවාරි 05 වෙනිදා ඊවා වනසුන්දර විනිසුරුවරිය විශ්‍රාම යන බැවින් ඒ සඳහාද කල්තියාම නමක් යෝජනා කොට ඇත. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති ධුරයන් දෙකකට නම් කොට යැවූ දෙදෙනා තවමත් පත්කොට නැත. එය එසේ තිබියදී ලබන ජනවාරියේදී හිස්වනවා යැයි කියන පුටුවට කල්තියාම කෙනෙකු නම් කර එවීම පුදුම සහගතය. දැන් මේ උත්සාහ කරන්නේ මහින්දට ඕන ඕන අය පත්කිරීමටය. තමන්ගේ දුවගේ විවාහ මංගල්‍යයට රුපියල් ලක්ෂ 10ක තෑගි පිරිනැමූවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි අවස්ථාවේදීය. එය එසේ කළේ සරත් ෆොන්සේකාව හිරේ යවන්න තීන්දු දීපු නිසා බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි. එවැනි දූෂිත චෝදනා ඇති අය නැවත ඉහළ තනතුරුවලට පත්කිරීමෙන් මෛත්‍රීපාල මේ උත්සාහ කරන්නේ තමන්ට හිතැති උසාවියක් තනා ගන්නටය. නමුත් ජනතාවගේ ජයග්‍රහණයක් ලෙස 19 වෙනි සංශෝධනයට අනුව පිහිටවූ ව්‍යවස්ථා සභාව එය වලක්වා ඇත.
රනිල් අගමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ තමන් නම්කොට යැවූ කිහිපදෙනෙක් උසාවිවලට පත්කළේ නැතැයි රනිල්ට දොස් නැගුවේය. ඇත්තටම එය වැළැක්වූයේ රනිල් නොව ව්‍යවස්ථා සභාවය. රුපියල් සියයත් පගාගන්නා විනිසුරුවරුන්ව මහින්ද ඉහළ උසාවිවලට පත්කළේය. ඒ අයම මෛත්‍රීපාල නැවතත් උසස් කරන ලෙස නම් එව්වේය. ඒවා උසාවි ක්‍රියාවලිය ගැන දන්නා ඕනෑම නීතිඥවරයෙකුට පවා තේරුම්ගත හැකි දේවල්ය. මෛත්‍රීපාල එවූ එකී නම් ප්‍රතික්ෂේප වීම රටේ අධිකරණයේ, නීතියේ ස්වාධීනත්වයට මහත් වූ උදව්වකි. එය එසේ නොවූයේ නම් මෛත්රීපාලගේ නීතිවිරෝධී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමද නීත්‍යානුකූල යැයි තීන්දු ලැබෙන්නට තිබුණි. එවැනි තත්ත්වයක් ඇති නොවූයේ ඒ විනිසුරුවරුන් සියලු දෙනාට කොන්ද කෙළින් තියාගෙන තීරණ ගන්න පුළුවන් තත්ත්වයක් 19 වෙනි සංශෝධනයෙන් ලබාදී තිබූ නිසාය.
එතරම් බලසම්පන්න 19 වෙනි සංශෝධනයෙන් දැන් රිංගන්න හදන්නේ යූඑන්පිය වීම ඉතිහාසයේ තවත් සරදමකි. එදා අමාත්‍ය මණ්ඩලය 30ක් විය යුතු බවට වාක්‍යයක් ඇතුළත් කරන්නට තදින්ම ක්‍රියා කළේ ජනතා විමුක්ති පෙරමුණය. යූඑන්පිය හා ශ්රීලනිපය යන දෙකම එයට එකඟ වූයේ නැත. අන්තිමට බැරිම තැන යූඑන්පියට එකඟ වන්නට සිදුවූයේය. ඊටත් පස්සේ ඇමති මණ්ඩලය වැඩිකරන්නට පොටක් පාදා ගත්තේය. ඒ ඊනියා ජාතික ආණ්ඩු කතාවය. ඒ සඳහා වූ වාක්‍ය කොටස එහාට මෙහාට කරකවන්නට දැන් උත්සාහ ගන්නේය. අද රනිල් ඇතුළු යූඑන්පිය උත්සාහ කරන්නෙත් ඒකටය. මෛත්‍රීපාල මේක ඇතුළෙන් රිංගන්නට ගොස් හොම්බ බිම ඇණ ගත්තේය. මුළු රටේම ජනතාවගෙන් කුමන්ත්රණකරුවන් ප්‍රතික්ෂේප වූයේය. ඒ කරගත්ත වැඩේම කරන්න යූඑන්පිය දත කන්නේය.
කුමන්ත්‍රණය පරාද කරගත්තේ යූඑන්පියට වඩා මේ රටේ සිවිල් සංවිධාන හා පුරවැසියන්ගේ බලයෙනි. ඒ සියලු දෙනාගේ කැපවීමෙන් හා ධෛර්යයෙන් පරාද කරගත්ත කුමන්ත්‍රණය දැන් යූඑන්පිය හදන්නේ තමන්ගේ ජයග්‍රහණයක් කරගන්නටය. රට පුරාම කොළපාට බැනර් කොඩිදාලා බලමණ්ඩල කැඳවලා වැටිච්ච පක්ෂය ගොඩනගන්න හදනවා වගේම ආයෙත් සැරයක් මන්ත්‍රීවරුන්ට දොළපිදේනි දීලා මහ විශාල ඇමති මණ්ඩලයක් හදාගන්නට වළි කන්නේය. රනිල් හදිසියේම ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ නමින් සන්ධානයක් ලියාපදිංචියට දැම්මේද ඒ වෙනුවෙන්ය. වැටිච්ච මෛත්‍රීගේ පිළේ ඉන්න අනාථ වෙච්ච මන්ත්‍රීවරු ටික තමන්ගේ පැත්තට දාගන්න උවමනාය. ඒක කරන්න නීතියේ ඇති බාධා ඉවත් කරගැනීම මේ දවස්වල සිදුකරමින් සිටියි. ශ්‍රීලනිපයෙන් ආපු අයට ඇමතිකම් නොදී ඉන්න මෛත්‍රීපාලට පුළුවන්ද යන්නත් අධිකරණය ඉදිරියට ගෙන යාමේ උත්සාහයක් පවතී. ජාතික ආණ්ඩුවක් නොමැතිව ඉදිරියට නොයාමේ උත්සාහයක් පවතී. ජාතික ආණ්ඩුවක් නොමැතිව ඇමතිකම් වැඩි කරගන්න බැරි නිසා බෝඞ් ලෑල්ලකට හෝ සීමා වුණු ජාතික ආණ්ඩු න්‍යාය හදාගන්න උත්සාහයක් පවතී. ව්‍යවස්ථාවේ ඒ පිළිබඳව ඇති වාක්‍යයෙන් වචනවලින් රිංගන්න හදන්නේ ඒකටය. ඒක එහෙම කරගත්තොත් ෆයිසර් මුස්තාපා, දුමින්ද දිසානායක, සරත් අමුණුගම වැනි බොහෝ පිරිසක් පෝලිමේ ඉන්න අයට ඇමතිකම් දී ගතහැකිය. මේ නත්තල් නිවාඩු කාලයේ යූඑන්පිය උත්සාහ කරන්නේ ඒකටය. ලබන ජනවාරියේ වැඩ පටන්ගත්ත ගමන් ජනතාවට දැකබලාගත හැක්කේ ඒ ජවනිකාවන්ය. තව ඉදිරියට තව බොහෝ ඇමතිකම් වෙනස් වනවා යැයි අකිල විරාජ් කියන්නේ මේ නිසාය.
ඇත්තටම මේ රටේ ප්රජාතන්ත්රවාදයට, යහපාලනයට කැමැත්තක් දක්වන ප්රගතිශීලී ජනතාවගේ අපේක්ෂාව මෙය වේය. මේ අයගේ සැබෑ උවමනාවට නැවත වතාවක් පයින් ගැසීමට දරන උත්සාහයක් මේ ක්‍රියාවලිය තුළ ගැබ්ව ඇත. අමාරුවෙන් කුමන්ත්‍රණය පරද්දවා ගත්තේ මෙවැනි තත්ත්වයක් අපේක්ෂාවෙන් නොවේය. එහෙත් දැන් ආරම්භ වී ඇත්තේ ඒ කැත, ගඳගහන ඇමතිකම් බෙදාගන්නා අශීලාචාර බල උවමනාවය. ඔය හැමෝටම ඇමතිකමක් නැතිව අඩුම ගානේ මාසයක් දෙකක්වත් කාලය ගෙවාගන්නට අමාරුය. ඒවා නැතිවෙනකොට එක එක න්‍යායවල් මතක් වෙන්නේ ඒ නිසාය. අලුත් අවුරුද්ද ලබනකොටම අප කාටත් දකින්නට අසන්නට සිදුවන්නේ ඇමතිකම් වැඩි කරගැනීම වෙනුවෙන් පටන්ගන්නා ව්‍යවස්ථා සෙල්ලම්ය. ඒ වෙනුවෙන් හදාගන්නා ඊනියා අලුත් සන්ධානයන්ය.
මෛත්‍රීපාල තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කුමන්ත්‍රණ කිරීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට බලපෑම් කිරීමත් සියල්ල සිදුවන්නේ හුදෙක් පටු බල උවමනාව වෙනුවෙන්ය. මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණයට මැදිවී අගමැතිකම ගත්තත් අන්තිමේදී විපක්ෂ නායකකමටත් රණ්ඩු කරගන්නේ පටු බලඋවමනාව වෙනුවෙනි. ඒ වටේ ඉන්න දේශපාලන සහචරයන් ටික ඇමතිකම් බෙදාගන්න වලිකෑවේද තම තමන්ගේ පටු පෞද්ගලික බලඋවමනාවන් වෙනුවෙන්ය. අද යූඑන්පිය ජාතික ආණ්ඩු කතා කියමින් ඇමතිකම් වැඩිකරගන්න හදන්නේත් එකී පටු පෞද්ගලික බල උවමනාවන් වෙනුවෙන්ය. ව්‍යවස්ථා නීති සියල්ල එහාට මෙහාට කරකවන්නේ තම තමන්ගේ උවමනාවන් වෙනුවෙන්ය. ඒ හැර රටේ ජනතාවගේ ඇත්ත දැවෙන සමාජ, ආර්ථික ප්‍රශ්න වෙනුවෙන් නොවේය.
ලබන ජනවාරියෙන් පටන් ගන්නා අලුත් වර්ෂයේද අපට දැකගත හැක්කේ බලය සඳහා කරන මෙවැනි අශීලාචාර උත්සාහයන්ය. එකී අශීලාචාර සිදුවීම්වල මාධ්‍ය සන්දර්ශනයන්ය. එහෙත් ඒ කිසිවෙකින් ජනතා ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලැබෙන්නේ නැත. එබැවින් මෙය අප කවුරුත් ගැඹුරින් වටහා ගත යුතුය. වටහා ගැනීමෙන් එහාට ගොස් එයට පිළියම් යොදාගැනීමටද ඔවුන් මැදිහත් විය යුතුය. එසේ නොමැතිනම් ඒ බල පොරයේ අඩුම කුඩුම බවට පමණක් අප පත්වනවා නිසැකය. එය එසේ කරන්නට නම් දැවෙන සමාජ ප්රශ්නයන් වෙත අවධානය යොමුකිරීමට වහා මැදිහත් විය යුතුය. ජනතාවගේ විරැකියා ප්රශ්නය, මන්ද පෝෂණය, ජීවන වියදම් ප්රශ්නය, නිවාස ප්රශ්නය, ජාතික සමගිය ඇති කිරීමේ ගැටලු මේ ආදී සියල්ල දැන් සාකච්ඡාවෙන් බැහැර වී ඇත. වහ වහා අප ඒවා ගැන අවධානය වැඩිකළ යුතුය. එපමණක් නොව එකී ප්‍රශ්න විසඳාගත හැකි අලුත් ප්‍රතිපත්තිමය සාකච්ඡාවකට රට රැගෙන යා යුතුය. විශේෂයෙන්ම රටේ උගත්, බුද්ධිමත් විද්වතුන්ගේ වගකීම වන්නේ එයයි. අවුරුදු ගණනාවක් තිස්සේ බැට කෑ මේ අශීලාචාර දේශපාලනය වෙනුවට රට ගොඩනගන්න ජාතික ප්‍රතිපත්ති රාමුවක් පිළිබඳව සංවාදය තව තවත් පුළුල් කළ යුතුය. ජනතාව මේ අශීලාචාර දේශපාලන ගොහොරුවෙන් මුදවා ගැනීමට ඔවුන් පෙරමුණ ගත යුතුය. පක්ෂ දේශපාලනයට බලපෑම් කළහැකි මට්ටමට මේ රටේ විද්වතුන්ගේ භූමිකාව ප්‍රබල කළ යුතුය. ඒ වෙනුවෙන් විද්වතුන් වහ වහා නැගී සිටිය යුතුය. ඉදිරියට ආ යුතුය. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔවුන්ගේ මැදිහත්වීමෙන් සිදුකරන සමාජ කතිකාවත මුළු මහත් සමාජය වෙලාගත් කතිකාව බවට පරිවර්තනය කරගත යුතුය.
ලංකා ඉරිදා සංග්‍රහය










