උතුරු පළාතේ පුරාණ වාරි පද්ධතිය විනාශ වීම සහ වන ගහනය අඩු වීම එම පළාතේ ගංවතුර තත්ත්වයට වැඩි වශයෙන් හේතු වී ඇතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දෙයි.
එම පළාතේ විශාල වැව් කිහිපයකට අමතරව කුඩා වැව් රැසක් සහ පොකුණු රාශියක් තිබූ නමුත් මේ වනවිට ඇළ මාර්ග විනාශ වී කුඩා වැව් රැසක් ගොඩ වී ඇති බවත් කාරියවසම් මහතා සඳහන් කරයි.
එල්ලංගා පද්ධතියද ඇතුළත් පුරාන වාරි පද්ධතිය නිසා ජලය රඳවා ගැනීමේ හැකියාව තිබුණු බවද, අධික වර්ෂා කාලවලදී එම වාරි පද්ධතිය පිරී යන බවද, අධික පායන කාලවල දී එම වැව් පද්ධතිය නිසා ලොකු නියං බලපෑමක් නොවන බවද ඒ මහතා පවසයි.
එමෙන්ම උතුරු පළාතේ වන ගහනයද යුද්ධයෙන් පසු සීඝ්‍ර ලෙස අඩුවීගෙන යන බව කී ආචාර්ය කාරියවසම් මහතා වන වැස්මක් යනු ජලය රඳවා තබා ගන්නා වෙනම පද්ධතියක් යැයි ද සඳහන් කළේය.










