පාර්ලිමේන්තුවා විසුරුවා හැරීමට ජනාධිපතිට නීති උපදෙස් දුන්නේ සද්භාවයෙන්ද යන්න ප්‍රශ්නයක්

පාර්ලිමේන්තුවා විසුරුවා හැරීමට ජනාධිපතිට නීති උපදෙස් දුන්නේ සද්භාවයෙන්ද යන්න ප්‍රශ්නයක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ජනාධිපතිවරයාට නීති උපදෙස් ලබාදුන් උපදේශකවරුන් එම උපදෙස් ලබා දුන්නේ සද්භාවයෙන්ද කියා නැවත වරක් සිතා බැලිය යුතු බව නීතිඥ සුනිල් වටගල මහතා පැවැසුවේය.

නීතිඥ එකමුතුව විසින් පසුගියදා පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙසේද පැවැසීය.

“අපි දැක්කා ජනාධිපතිවරයා එදා ප්‍රකාශය කරද්දී කීවා එතුමා කරපු හැමදේම කළේ තනිවම නොවන බවත්, ජනාධිපති නීතිඥ මහතුන්ගෙනුත්, ප්‍රවීණයන්ගෙනුත් අදහස් විමසලා තමයි එහෙම කළේ කියලා කිව්වා.

නමුත් ඒ කරපු ක්‍රියාවන් රටේ ඉහළම අධිකරණ දෙකක වාද විවාදයට ලක් වුණා. දැන් මේ මගේ අතේ තියෙන ලියවිල්ලට නීතිඥයන් 7ක් අස්සන් කරලා තියෙන්නේ. එතකොට මේ නඩුව මොකක්ද? පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ඒ ගැසට් නිවේදනය බල රහිත කරන්න කියලා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් මඟින් කරුණු විමර්ශනය කරලා අතුරු නියෝගයක් ලබා දුන්නා.

රටේ නීතිපතිවරයා, මැදිහත්කරුවන්ගේ පෙත්සම්කරුවෝ කීවා තුන මදියි. හතක් ඕනි කියලා. එතකොට හත් දෙනකුගේ විනිශ්චය මණ්ඩලයක් දීලා ඒ හත් පුද්ගල මණ්ඩලයෙන් ඒකමතිකව තීරණය කරලා තමයි මේ තීන්දුවට ආවේ. එතකොට මේ තීන්දුවෙන් කියන්නේ ජනාධිපතිතුමා කරපු ක්‍රියාව නීති විරෝධී බව.

ජනාධිපතිතුමා ජාතිය අමතලා කීවේ එතුමාට නීති උපදේශකයන් උපදෙස් දුන්නා කියලා. හරිම ලණුවක් එතුමාට දීලා තියෙන්නේ. නීතිපතිතුමා නම් නොමිලේම කඩේ ගියා.එතකොට මම මැදිහත් පෙත්සම්කරුවන්ගෙන් කීප දෙනෙක්ගෙන් ඇහුවා, ඔයාලා ජනාධිපතිට උපදෙස් දුන්නාද කියලා. අනේ නැතෙයි කීවා. මේ ලණුවක් දීලා. අපිත් දැන් මේක ඇදගෙන යනවා කියලා. මම අහපු හැමෝම කීවා ජනාධිපති මන්දිරය පැත්ත පළාතේ ගියේ නෑ කියලා. මේ ආපු ප්‍රශ්නෙට පෙනී සිටින්න ඕනි හින්දා දැන් ඉතින් අපි කරුණු කියනවා මිසක් මේක මෝඩ ක්‍රියාවක් කියලා. කවුරු හරි එතුමාට උපදෙස් දුන්න කෙනෙක් හිතලා බලන්න ඕනි සද්භාවයෙන්ද ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේ කියලා.”

ජනාධිපති නීතිඥ ජේ.සී.වැලිඅමුණ

“අලුතෙන් ජනාධිපතිතුමා සහ ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් පටන් ගනිමින් තිබෙනවා. ඒ සඳහා මම හිතන්නේ අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා නැවත වරක් බලන්න වෙනවා.

මම දැක්කා ඊයේ පත්තරවලත් අදත් දිගටම තියෙනවා ජනාධිපතිවරයා විසින් යම් යම් අමාත්‍යාංශවලට අදාළ කාර්යයන් සහ විෂයන් තමාගේ භාරයේ තබා ගන්නවා කියන ප්‍රකාශයක් කරලා තියෙනවා. මම විශ්වාස කරන්නෑ නීතිය පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක් ජනාධිපතිවරයාට එවැනි දෙයක් කරන්න පුළුවන් කියලා උපදෙස් දෙයි කියලා.

මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එහා ගිහින් එතුමා කරනු ලැබූ ක්‍රියාදාමයන් අපි දැක්කා. දැන්වත් මම හිතන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන බැලුවොත් තේරෙයි ජනාධිපතිවරයාට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව විෂයන් හා කර්තව්‍යයන් 3ක් පමණයි තියා ගන්න පුළුවන් කියලා.”

මෙහිදී නීතිඥ ලාල් විජේනායක මහතාද මෙහිදී අදහස් දැක්වූහ.

ජයත් ශ්‍රී බණ්ඩාර – මව්බිම

 

Facebook
Twitter
LinkedIn