මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කරනු ලැබු අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත විය. පක්ෂව ඡන්ද 102ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 06ක් ලැබි තිබිණි. දෙමළ ජාතික සන්ධානය අතුරු සම්මත ගිණුමට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් විරුද්ධව ඡන්දය ලබාදෙන ලදි.
ජවිපෙ නායක අනුර දිසානායක මහතා විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම ආදී කරුණු වලට මුවාවෙමින් මාස හතරක් සදහා මෙමගින් මුදල් වෙන්කර ගත්තද ඊට පරිබාහිරව අති විශාල මුදලක් මෙයින් වෙන්කරගෙන ඇති බවයි. විශේෂයෙන් ජනාධිපතිවරයා සදහා මිලියන 5,565ක් වැනි අතිවිශාල මුදලක් වෙන්කරගෙන ඇති නමුත් රාජයේ සේවක වැටු වැඩි කිරීමට හෝ වතු කම්කරුවන්ගේ වැටුම් අර්බුදය වැනි ගැටළු විසදීමට මෙමගින් පියවරගෙන නොමැති බවයි. එම නිසා තම පක්ෂය මෙම අතුරු සම්මත ගිණුමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව දිසානායක මහතා පැවසීහ.
එජාපෙ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට සහයෝගය දක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා නිල වශයෙන් ප්‍රකාශ කලේය. එහෙත් ඡන්දය විමසන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සභාවේ සිටියේ නැත.
ඉදිරි මාස 04 සදහා වන අතුරු සම්මත ගිණුම අද (21) පෙරවරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළේය. එමගින් 2019 වසරේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියල 970ක් ණය සේවාකරණය (පොලී සහ වාරික) වෙනුවෙන් වෙන් කර ඇත. ඒ අනුව 2019 වසරේ මුල් මාස හතරේ වියදමෙන් 55%ක පමණ ප්‍රතිශතයක් වැය වනුයේ රජයේ ණය වාරික සහ පොලී ගෙවීම සඳහා ය. මෙම අතුරු සම්මත ගිණුම මගින් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 480ක් ද ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 310ක්ද වෙන් කර ඇත.










