මහින්දානන්දට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා විදේශගතවීමට අධිකරණය අවසර දෙයි

මහින්දානන්දට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා විදේශගතවීමට අධිකරණය අවසර දෙයි

පසුගිය රජය යටතේ රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් කැරම් හා දාම් බෝඩ් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නිකුත් කර ඇති විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගය තාවකාලිකව අත්හිටුවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පෙරේදා (11) නියෝග කර තිබේ.

ඉදිරි නඩු දිනය වන ලබන වසරේ මාර්තු 13 වැනිදා තෙක් විදේශ ගමන් තහනම තාවකාලිකව මහෙස්ත්‍රාත්වරයා අත්හිටුවනු ලැබූ අතර වෛද්‍ය පරීක්‍ෂණයකට සහ එංගලන්තයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සඳහා සහභාගී වීමට විදේශ ගතවීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කර ඇත.

මෙහි සෙසු සැකකරුවා වන්නේ සතොස හිටපු සභාපතිවරයකු වන නලීන් රුවනජීව මහතාය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉල්ලීම පරිදි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා නිකුත් කළ ලියුමකට අනුව සතොස මඟින් කැරම් සහ දාම් බෝඩ් දහහතරදහස බැගින් මෙරටට ආනයනය කර එලෙස ගෙන්වූ කැරම්සහ දාම් බෝඩ් බියගම පිහිටි එක්සත් ජනතා නිදහස් පක්ෂයේ මැතිවරණ කාර්යාලයක් මඟින් රටපුරා බෙදාහැරියේ යැයි ඔවුන්ට චෝදනා එල්ලවී තීබේ.

2014 වසරේ අග භාගයේදී මෙය සිදුව ඇති අතර ලක් සතොස ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී 2015 වසරේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අරඹා ඇත.

Facebook
Twitter
LinkedIn