සමනලී ෆොන්සේකා කංචන විජේසේකරගෙන් කෝටි පනහක් වන්දි ඉල්ලයි

සමනලී ෆොන්සේකා කංචන විජේසේකරගෙන් කෝටි පනහක් වන්දි ඉල්ලයි

කලා හා සමාජ දේශපාලන කටයුතු මගින් දීර්ඝකාලීනව ගොඩනගාගත් තම කීර්ති නාමයට හානි කළැයි චෝදනා කරමින් එයින් සිදු වූ හානියට රුපියල් කෝටි පනහක වන්දියක් ඉල්ලමින් ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සමනලී ෆොන්සේකා මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතාට අද (12) එන්තරවාසියක් යවා තිබේ.

සමනලී ෆොන්සේකා මහත්මියට පසුගිය කාලයේදී ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් අයුතු ලෙස මුදල් ගෙවීමක් කර ඇති බවට හැඟවෙන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශයක් මගින් මෙම හානිය වී යැයි සඳහන් කරමින් මෙම එන්තරවාසිය යොමු කර ඇත.

මෙම වන්දිය සති දෙකක් ඇතුලත නොගෙවන්නේ නම් එය අයකරගැනීම සඳහා නඩු පවරන්නේ යැයි ද එම එන්තරවාසියේ සඳහන් වේ.

සමනලී ෆොන්සේක මහත්මිය ඇතුලු පිරිසකගේ නම් සඳහන් කරමින් රුපියල් ලක්ෂ 27ක පමණ මුදලක් අයුතු ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් ගෙවා ඇති බවටත් ඒ ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් කරුණු විමසා ඇති බවටත් එසේ සිදුකරන ලද ක්‍රියා අනාවරණය වීම වැලැක්වීමට සමනලී ෆොන්සේකා මහත්මිය පවතින රජයට විරුද්ධව උද්ඝෝෂණ කරන බවටත් කංචන විජේසේකර මහතා මාධ්‍ය හමුවකදී පැවැසී යැයි ද එහි සඳහන් වේ.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ පැහැදිලි අරමුණ සමනලී ෆොන්සේකා මහත්මිය විසින් දීර්ඝකාලීනව කලා සහ සමාජ දේශපාලන කටයුතු මගින් අත්කරගනු ලැබූ කීර්ති නාමය විනාශ කිරීම යැයි ද එම ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද එහි සඳහන් වේ.

සාධාරණ හා විශ්වසනීය තොරතුරු මත පදනම් නොවී මන්ත්‍රී කංචන විජේසේකර මහතා මෙම ප්‍රකාශය කර ඇතැයි ද එම එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn