රෝහල්වල මේ වනවිට අත්වැසුම් හිඟයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

රජයේ රෝහල් සදහා 2011 වසරට අවශ්‍ය අත්වැසුම් ඇණවුම් නොකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පැවසුවේ, දිවයිනේ බොහෝ රෝහල්වල මේ වනවිට අත්වැසුම් හිඟයක් පවතින බවයි.

වසරකට රජයේ රෝහල් සදහා අත්වැසුම් මිලියන 40 ක් අවශ්‍යවන අතර පසුගිය වසර අවසානයේ ඇණවුම් නොකිරීමෙන් අදා‍ළ හිඟය ඇති වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එලෙස ඇණවුම් සදහා ටෙන්ඩර් කැදවීමක් නොකිරීමෙන් ඇතිවන හිඟය මගහරවා ගැනීමට දේශීය වශයෙන් අත්වැසුම් මිලදී ගැනීමට සිදුවන බවය.

එවැනි මිලදී ගැනීමකදී සාමාන්‍ය මිල මෙන් දස ගුණයකට වඩා වැඩිපුර මුදල් ගෙවීමට සිදුවන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ අනුව අධික මුදල් වංචාවක් සිදුවනු ඇති බවට සැකකරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන විසින්  නිලධාරීන්ට උපදෙස්  දෙනු ලැබ තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ, එහිදී වැරදිකරුවන්වන ඕනෑම අයෙකුට තරාතිරම නොබලා කටයුතු කරන බවය.

 

Facebook
Twitter
LinkedIn